2016 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ මාතෘ මරණවලින් 55%ක්ම වළක්වා ගත හැකිව තිබුණ ඒවා බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරණ ලද 2016 වසරේ මාතෘ මරණ සමාලෝචන වාර්තාවේ දැක්වෙයි.
එම වාර්තාව අනුව 2016 වසරේ දී ශ්‍රී ලංකාවේ මාතෘ මරණ 112 ක් සිදු වී ඇති අතර, එය අනුපාතයක් ලෙස සජීවී දරු උපත් ලක්ෂයකට මරණ 33.8 ක් ලෙස ගණනය කරනු ලැබ ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව එය දකුණු ආසියාවේ අඩුම මාතෘ මරණ අනුපාතිකයයි.
පසුගිය වසර කීපය තුළ ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතිකය සජීවී දරු උපත් ලක්ෂයකට මරණ 32 ක් හා 33 ක් අතර ප්‍රමාණයක නොවෙනස්ව රැඳී තිබෙන බවත් එකී කාලයට අදාළ වාර්තා අධ්‍යයනය කිරීමේදී පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
2016 වසරේ ශ්‍රී ලංකාවේ වාර්තා වූ සෑම ගර්භණී හෝ පශ්චාත් ප්‍රසව මරණයක්ම පුළුල් විමර්ශනයකට ලක් කරමින් ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව ඉහත කී මාතෘ මරණ සමාලෝචන වාර්තාව පිළියෙළ කර ඇත.

2016 වසරේ සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ සිදු වන දරු උපත්වලින් 36.30% ක් 'සිසේරියන්' සැත්කම් අනුව සිදුව ඇත.
2016 වසරේ සිදුව ඇති මාතෘ මරණ 112 න් 55% ක් සෘජු මාතෘ මරණ ලෙස හඳුන්වා දී ඇති අතර, පසු ප්‍රසව රක්තපාතය, හදවත් රෝග හා ගැබ් තරලය රුධිරයට මුසුවීම එම මරණවලට ප්‍රධානතම හේතු ලෙස සොයා ගෙන තිබේ.
එම මාතෘ මරණ වලින් 68% කදී විවිධ මට්ටමේ ප්‍රමාද වීම් සිදු වී ඇති ආකාරය එම වාර්තාව මගින් විමර්ශනය කර ඇත.
මියගිය මවුවරුන්ගෙන් 43% ක් නිසි වෙලාවට වෛද්‍ය උපදෙස් ලබා ගෙන හෝ රෝහලකට පැමිණ නොමැති අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල ප්‍රමාද වීම් මරණ 44 කට සෘජු හෝ වක්‍රව දායක වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.
නිසි පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත නොකිරීම නිසා මවුවරුන් විස්සකට ජීවිතය අහිමි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
සමස්තයක් ලෙස සිදුව ඇති මරණ 112න් 55% ක් වළක්වා ගත හැකිව තිබු මරණ බව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවේ නිගමනයයි.
මේ අතර, ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ සිදු වන දරු උපත්වලින් 99.9% ක්ම සිදු වන්නේ රෝහල්වලය.
2016 වසරේ සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ සිදු වන දරු උපත්වලින් 36.30% ක් 'සිසේරියන්' සැත්කම් අනුව සිදුව ඇත.
2013 වසරේ සිසේරියන් සැත්කම් ප්‍රමාණය 31%ක් වූ අතර, එම ප්‍රතිශතය වසරෙන් වසර ඉහල යන ආකාරයක් 2016 සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කෙරෙයි.

සැත්කමක නිරත වෛද්‍ය කණ්ඩායමක්
1988 වසරේ ශ්‍රී ලංකාවේ 'සිසේරියන්' සැත්කම් අනුව සිදු කර ඇති දරු උපත් ප්‍රමාණය 8%කි.
එම අනුපාතය 1997දී 13%ක් ලෙසත්, 2007 වසරේදී 30% ක් ලෙසත් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාව සඳහන් කරයි.
දරු උපත් වල දී නිරන්තරයෙන් සිසේරියන් සැත්කම භාවිත කිරීම තුළින් මිනිස් පරිණාමනයට විශාල බලපෑමක් එල්ල කෙරෙන බව විද්‍යාඥයෝ පවසති.
ඉතා පටු උකුල් ප්‍රදේශයක් සහිතවීම නිසා වර්තමානයේ බොහෝ මව්වරුන් දරුවන් ලැබීමේ දී සිසේරියන් සැත්කමට භාජනය කළ යුතු බව සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ.
මවගේ වෙනත් සෞඛ්‍ය ගැටලුත් ඊට හේතු වෙයි.
(බීබීසී සිංහල සේවය)

