නායකත්ව මණ්ඩලයක් හරහා තීන්දු තීරණ ගන්නා පුළුල් පෙරමුණක් යටතේ ලබන සිකුරාදායින් පසු ස්ථාපිත කරන ජාතික රජයට එක් වන්නැයි ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙළට එරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීන්ට ආරාධනා කරන බව අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක සහ වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.
මෙම පුලුල් පෙරමුණ හැදීමේ සාකච්ඡා සාර්ථක වී ඇති හෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීන්ට මෙලෙස ආරාධනා කරන බවත්, ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙළට ශ්‍රීලනිපය ඇතුලේ ලොකු විරෝධයක් මතුව ඇති බවත් ඔවුහු ප්‍රකාශ කළහ.
රාජිත සේනාරත්න මහතා සහ පාඨලී චම්පික රණවක මහත්වරුන් මේ බව පැවසුවේ කොළඹ අරලියගහ මන්දිරයේ ඊයේ (30) සවස පවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පැවති ජාතික ආණ්ඩුවට වඩා ශක්තිමත් හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික රජයක් ඉදිරියේදී නිර්මාණය වනු ඇතැයි බස්නාහිර හා මහා නගර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එහිදී කීවේය. දිරියේ හදන ජාතික ආණ්ඩුව සමඟ එකතු වන්නේ කවුරුන්දැයි දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව ද රණවක මහතා පැවසීය.
‘‘සෑම දෙනකුගේම අදහස් සාමූහිකව ක්‍රියාත්මක කරන පුළුල් සහ ප්‍රජාතන්ත්‍රවාදී නව ආණ්ඩුවක් වෙනුවෙන් තමයි අපි මේ ආරාධනය කරන්නේ. මෙය හිස් අහසේ කරන ආරාධනයක් නොවෙයි. අපි පක්ෂ නායකයන් සමඟත් සාකච්ඡා කළා. අපේ පැවැති යම් යම් ප්‍රශ්න හඳුනාගෙන තිබෙනවා. ඒව මගහැර ආණ්ඩු කරන්න, රට ඉදිරියට ගෙන යන්න එකතු වන ලෙස ආරාධනා කරනවා. ‘‘ යැයි ද පාඨලී චම්පික රණවක මහතා කීවේය.
ලබන සිකුරාදා වන විට පාර්ලිමේන්තුව කැඳවනු ඇති බවත් ඊළඟට හදන ආණ්ඩුවේ ශක්තිය කොපමණදැයි එවිට බලාගත හැකි වනු ඇති බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
‘‘අද දින අපි දීර්ඝ දේශපාලන සාකච්ඡාවක් කළා. අපි මේ වන විට තීන්දු කර තිබෙනවා පුලුල් පෙරමුණක් ආරම්භ කර ඉදිරි කාල පරිච්ඡේදය ඒ පුලුල් පෙරමුණ යටතේ ක්‍රියාත්මක වන ආණ්ඩුවක් ක්‍රියාත්මක කරන්න. දේශපාලන නායකයන්ගේ නායකත්ව මණ්ඩලයක් මගින් මූල්‍ය හා සංවර්ධන වැඩපිළිවෙළ තීන්දු කරමින් ඉදිරියට යන ආණ්ඩුවකුයි ක්‍රියාත්මක කරන්නේ. ඒ තුලින් අනවබෝධයන් නැති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ආරාධනා කරනවා ශ්‍රීලනිප ප්‍රධානීන්ට අපි සමඟ එකතු වෙන්න කියලා. ව්‍යවස්ථා විරෝධී බල අරගලය මේ සතියේ පරාජය කරලා එක්සත් ජාතික රජය බිහි කිරීමට ජන වරම තියෙන රජය සමග එකතු වෙන්න අපි ආරාධනා කරනවා. මෙතෙක් මේ ගැන පැවැත්වූ සාකච්ඡා ඉතා සාර්ථකයි. ඒ සියලුම කොටස් වලට අපි දැන් ප්‍රසිද්ධියේ ආරධනා කරනවා. ‘‘ යැයි ද රාජිත සේනාරත්න මහතා කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් සහ හිටපු නියෝජ්‍ය ඇමති කරු පරණවිතාන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගීවූහ.

