'අතුරුදහන් වූ' උතුරේ මාධ්‍යවේදීන් සෙවීමට විශේෂ කමිටුවක් !

'අතුරුදහන් වූ' උතුරේ මාධ්‍යවේදීන් සෙවීමට විශේෂ කමිටුවක් !
උතුරේ මාධ්‍යවේදීන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් මරා දමා හෝ අතුරුදහන් කර ඇත.

යහපාලන ආණ්ඩුව බලයට පත්වී වසර තුනක් ගත වී ඇතත් මරා දමා හෝ අතුරුදහන් කර ඇති සිය වෘත්තීය සගයන්ට කිසිම යුක්තියක් ඉටුවී නැති බව උතුරුකරයේ මාධ්‍ය ක්‍රියාධාරීන් විසින් නැවත වතාවක් පෙන්වා දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීම ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවකට පවරා තිබේ.

ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27 ) පෙරවරුවේ පත් කරන ලද කමිටුවකට එම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දීය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් මෙන්ම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් සමන්විත මෙම කමිටුව සිය වාර්තාව මාස තුනක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කළ යුතු බවට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

 වීඩියෝව 

ප්‍රාදේශීය මාධ්‍යවේදී නියෝජිතයන් ජනාධිපතිවරයා සමග පැවති හමුව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය සපයා තිබූ වීඩියෝ පටයේ හඬ තිබුනේ නැත.

 මරා දමනු ලැබූ හෝ අතුරුදහන් කරනු ලැබූ උතුරේ මාධ්‍යවේදීන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් මීට වසරකට ඉහතදීත් ජනාධිපතිවරයා දැනුවත් කළත් කිසිදු විසඳීමක් මේවනතුරු ලැබී නැති බව එම සාකච්ඡාවේදී පවසා ඇත්තේ උතුර නියෝජනය කරමින් පැමිණි කන්දසාමි සෙල්වකුමාර් මාධ්‍යවේදියාය.

අගමැතිවරයා හට දෑවුරුද්දකට ආසන්න කාලයකට ඉහතදී බාර දෙන ලද ලැයිස්තුවක දැක්වෙන ඝාතන ඇතුලු පීඩාවලට ගොදුරු වූ මාධ්‍යවේදීන් 44 ක් අතරින් නීතිමය පියවර ගෙන ඇත්තේ ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් පමණකි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් සම්පාදනය කර ඇති එම වාර්තාවේ දැක්වෙන සාතිශය බහුතර සංඛ්‍යාවක් වාර්තාකරණයෙහි යෙදුනේ උතුරේය.

 මාධ්‍යවේදීන්ගේ පවුල් ගණනාවක්ම අසරණව:

“ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් යහපාලන ආණ්ඩුව සංහිඳියාව ස්ථාපිත කරන්නේ නම් උතුරේ මාධ්‍යවේදීන් මුහුණ පා සිටින දුෂ්කරතා සම්බන්ධයෙන් පිළිතුරු දීම පළමුකොටම කළයුතු යැයි,” ජනාධිපති ඇතුළු බලධාරීන් හමුවේ තමන් ප්‍රකාශ කළ බව කන්දසාමි සෙල්වකුමාර් මහතා සාකච්ඡාවෙන් අනතුරුව කියා සිටියේය.

පසුගිය ආණ්ඩුව සමයේ ඝාතනයට ලක්වූ සහ ආගිය අතක් නොමැති මාධ්‍යවේදීන්ගේ පවුල් ගණනාවක්ම කිසිදු හව්හරණක් නොලබා අසරණ වී සිටින බව ද ඔහු සාකච්ඡාවේදී පවසා තිබේ.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වැටුප් සහ දීමනා පිළිබඳ ගැටලුව සාකච්ඡාවේදී විශේෂ අවධානයට යොමු වී ඇති අතර මාධ්‍යකරණයේදී ඔවුන් මුහුණ පා ඇති “සෙසු ගැටලු” පිළිබඳව ද අවධානය යොමු වු බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

වෘත්තීය ගැටළු ඉක්මවා යන පීඩනයකට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණ පා සිටිතැ’යි ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී පෙන්වා දුන් බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා කියා සිටියේය.

 ජනාධිපති එදා දුන් පොරොන්දුව !

රාජ්‍ය අනුග්‍රහයෙන් ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන වලට එරෙහිව දියත් වුනු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පියවර ගැනීම එහිදී මූලික වන බව කියා සිටි ධර්මසිරි ලංකාපේලි මහතා පෙන්වා දුන්නේ, ඒ සම්බන්ධයෙන් තම සංවිධානය ජනාධිපතිවරයාට කරුණු දැක්වූයේ මෙයින් අවුරුද්දකට පෙර බවයි.

පසුගියදා පැවති මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ හය වැනි නියෝජිත සමුළුවේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද සංදේශයේ ඇතුළත් කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වු බව පවසන ජනාධිපති මාධ්‍ය ඒකකය එම කරුණු මොනවාදැයි සඳහන් කර නොමැත.

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට හා පසුගිය පාලන සමයේ පීඩාවට පත් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල වගකීම් සහිත කමිටුවක් පිහිටුවන බවට 2016 නොවැම්බර් 30 දින ජනාධිපතිවරයා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ හය වැනි නියෝජිත සමුළුවේදී පොරොන්දු විය.

ඝාතනයට හා පහරකෑමට ලක්වූද, ජීවිතාරක්ෂාව පතා රට හැර පලා ගියාවූද මාධ්‍යවේදීන්ටත්, මාධ්‍ය ආයතන ගිනිතබා විනාශ කරන ලද මාධ්‍ය ආයතනත් සම්බන්ධයෙන් රජයේ වගකීම ඉෂ්ට කිරීම කාර්යක්ෂම කරන ලෙස මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය කර ඇති ඉල්ලීම ඉටු කිරීමට තමන් පියවර ගන්නා බවට ද ජනාධිපතිවරයා එහිදී සහතික වී තිබුනි.

 ms 3 1000pxඅමාත්‍ය මණ්ඩල වගකීම් සහිත කමිටුවක් පිහිටුවන බවට ජනාධිපතිවරයා 2016 නොවැම්බර් 30 දින පොරොන්දු විය.

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක පාහේ නියෝජනය කරන මාධ්‍යවේදීන් සහභාගි වූ සාකච්ඡාව සදහා රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශණ ගුණවර්ධන, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති කරුණාරත්න ගමගේ, ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි යන මහත්වරුන් ඇතුළු එහි නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

(radiogagana)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න