ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරවීමේ සූදානමක් !

ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරවීමේ සූදානමක් !
ජනාධිපති සිරිසේන අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.
 
කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 නොමැතිවීම මීට මූලික හේතුවවී ඇති බවද වාර්තා වෙයි.
 
 ජනාධිපති සිරිසේන පසුගිය දින කිහිපයේම කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය පළකරන ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ සහය ඇතිව මන්ත්‍රීවරුන් බිලිබා ගන්නට උත්සාහ කළත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒ ක්‍රියාවට එරෙහිව මේ වන විට ප්‍රබල ජනමතයක් ගොඩනැගී ඇත. එසේම දමිළ සහ මුස්ලීම් පක්ෂද මේ වන විට කුමන්ත්‍රණයට සහයදීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ බව ජනාධිපතිගේ මුණටම පවසන්නටද ඔවුන් කටයුතු කර ඇත.
 
තවද මන්ත්‍රීවරුන් පිල් මාරුකරවීම වෙනුවෙන් කෝටි ගණන් අල්ලස් ලබාදීම සම්බන්ධව ජාත්‍යන්තරවද දැඩි අප්‍රසාදයට පත්ව ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු විදෙස් බලවතුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සියල්ල ජනාධිපති සිරිසේනට දන්වා ඇත්තේ වහාම පාර්ලිමේන්තුව කැඳවා ඒ තුළ මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්නා ලෙසය.
 
එපමණක් නොව කුමන්ත්‍රණ ආණ්ඩුවට සුදුහුණු ගෑම සඳහා පසුගියදා ජාතික රූපවාහිනියට කැඳවනු ලැබූ ජේෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරිද අවධාරණයෙන් කියා සිටියේ ජනාධිපති සිරිසේන කරන මේ කටයුතු සියල්ල ව්‍යවස්ථා විරෝධී බවය. එසේම ඒ සමඟ කැඳවා සිටි කිසිඳු සම්පත් දායකයෙකුට ජනාධිපති සිරිසේනගේ කටයුත්ත යුක්ති යුක්ත කරන්නට හැකි වූයේ නැත.
 
සිරිසේන ජනාධිපති 19 වන සංශෝධනය නොතකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නීති උපදෙස් පතමින් සිටින්නේ එවැනි පසුබිමකය. 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර හතරහමාරකට පසුවය.
 
එසේම මේ වන විට පාර්ලිමේන්තුව විසුරවා හරින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු රාජපක්ෂ පාර්ශවයද ජනාධිපතිවරයට දැඩි බලපෑමක් සිදුකරමින් සිටින බව වාර්තා වන අතර අවම වශයෙන් පළාත් සභා මැතිවරණයක් කැඳවන ලෙස හෝ ඔවුන් බල කරන බවද වාර්තා වෙයි.
 
එහෙත් ජනාධිපති උපදේශකයන් පෙන්වාදී ඇත්තේ ව්‍යවස්ථා විරෝධී ආකාරයට දිඉන් දිගටම කටයුතු කළහොත් ජාත්‍යන්තර මෙන්ම රට අභ්‍යන්තරයේද පාලනය කරගත නොහැකි පීඩනයක් එල්ලවීමේ අවධානමක් පවතින බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න