ශ්‍රීලනිප සමස්ථ ලංකා කාරක සභාවට හෑන්ඩ් ෆෝන් තහනම් : සහතිකයක් සමඟ බැසිල් සූදානමින් !

ශ්‍රීලනිප සමස්ථ ලංකා කාරක සභාවට හෑන්ඩ් ෆෝන් තහනම් : සහතිකයක් සමඟ බැසිල් සූදානමින් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද (08) පස්වරුවේ රැස්වීමට නියමිත අතර ඒ සඳහා පැමිණීමේදී ජංගම දුරකථන ගෙන ඒමෙන් වලකින ලෙස දන්වමින් අතිවිශේෂ නිවේදනයක් එවා ඇති බව වාර්තා වෙයි.

මෙම සමස්ත ලංකා කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ  මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පස්වරු 5.30ට පමණ බත්තරමුල්ල "අපේ ගම" පරිශ්‍රයේදී ය.

මේ සම්බන්ධව නිවේදනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කර සිටියේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්වය පිළිබඳව ද සාකච්ඡා කෙරෙනු ඇති බවය.

කෙසේ වුවත් මෙම ජංගම දුරකථන වාරණය සම්බන්ධව අදහස් දක්වන  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මෙම අවස්ථාව එකම ගාලගෝට්ටියක් බවට පත්වීමේ අවධානමක් මතුව ඇති බවය. 

ඒ  පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය සහ මහින්ද රාජපක්ෂ පාර්ශවය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම නමින් සහ පොහොට්ටුව ලකුණින් පමණක් ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බවට නිල නිවේදනයක් නිකුත් කර තිබීම හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන්ගේ දේශපාලන අනාගතය සම්බන්ධව බරපතල අර්බුදයක් නිර්මාණය වී තිබීමය.

අවුලක් ගියොත් සහතිකය බැසිල්ගෙන් !

එහිදී තත්ත්වය පාලනය කරගත නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ථ ලංකා කාරක සභාවේ නියෝජිතයන්ට සහතිකයක් ලබාදීම සඳහා බැසිල් රාජපක්ෂ කැඳවීමට සුදානමක් ඇති බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධව ලැබී ඇති වැඩිදුර තොරතුරු වලට අනුව මෙතෙක් කළක් රාජපක්ෂවරුන් ගෙනගිය දේශපාලන ප්‍රචාරය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන්ද පදනම අතිශය දුර්වලවී ඇත. එසේම පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකරන බව සඳහන් කරමින් කමිටු දෙකක් පත්කර ඇතත් ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂව අගමැති කරන විටත් ඒ එක් කමිටුවක් වත් ක්‍රියාකාරී අඩියකට පැමිණ තිබී නැත. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇතුළු බිම් මට්ටමේ තිබෙන ගැටළු පිළිබඳ දිහින් දිගටම පක්ෂයේ තාවකාලික මහ ලේකම් ලෙස නම් කළ රෝහණ ලක්ෂමන් පියදාසට වාර්තා කළත් ඔහු ඒ කිසිඳු ප්‍රශ්නයක් විසඳන්න කටයුතු කර නැත.

මේ හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් බලවත් අර්බුදයකට මුහුණදී සිටින්නේ පසුගිය  පළාත් පාලන මැතිවරණය හමුවේ පවා 9% ක ජන්ද පදනමකට සීමාවූ තම පක්ෂය කිසිඳු ප්‍රවර්ධන කටයුත්තක් නොමැතිව මැතිවරණයකට මුහුණදෙන්නේ කෙසේද යන්න සම්බන්ධවය. එසේම ඉදිරියේදී මැතිවරණයකට ඉදිරිපත් වනවා නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා ලැයිස්තු වල තම පාර්ශවයට ඇති ඉඩ ප්‍රස්ථා සම්බන්ධවද ඔවුන් බරපතල ගැටලුවක පසුවන බවත් දැනගන්නට තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න