Language Switcher

V2025

කුමන්ත්‍රණ ආණ්ඩුවේ බොරුව අතේ පත්තුවීම ගැනත් නිවේදනයක් !

ජනාධිපති  සිරිසේන පාර්ලිමේන්තුව විසුරවීමට සූදානම් බවට වන පුවත අසත්‍යක් බවට කුමන්ත්‍රණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (07) නිල නිවේදනයක් නිකුත්කර තිබේ.

එහි දක්වා ඇත්තේ පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ සූදානමක් පිළිබඳ ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් කටයුතු කරන බවය.

එහෙත් දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ අදාළ පුවත සම්බන්ධව පළමු ප්‍රචාරය දියත්කර සිටියේ සිරිසේන ජනාධිපතිගේ මාධ්‍ය අංශය ලෙස පෙනී සිටින සමාජ ජාල ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු විසින් බවය.
 
ඒ බව තහවුරු කරන සාක්ෂි කිහිපයක් අප සතුවද තිබෙන අතර ඊට අදාළ පසුබිම නිර්මාණය වූ ආකාරයට අදාළ තත්ත්වය සම්බන්ධව නිවැරදි තක්සේරුවක් අපට ඇත.
 
කාටත් එපා වූ කුමන්ත්‍රණය !
 
කුමන්ත්‍රණ ආණ්ඩුව ස්ථාවර කරගැනීම සඳහා පළමුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ නින්දිත උත්සාහය දියත් කල එහි ප්‍රධානීන්ට එය හකුළා ගන්නට සිදුවූයේ එය සාක්ෂි සහිතව අනාවරණය කරන්නට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර කටයුතු කළ නිසාය. 
 
පසුව මෙරට මුස්ලීම් ප්‍රජාව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන ව්‍යාපාර දෙකෙහි නායකයන් වන රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන අමාත්‍යවරුන් කුමන්ත්‍රණ ආණ්ඩුවට ගැනීමට උත්සාහ කළද ඔවුන් ජනාධිපතිවරයාගේ සහ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්දගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තට සහය දීම ප්‍රතික්ෂේප කළහ.
 
අනතුරුව පාර්ලිමේන්තුවේ විපක්ෂනායක, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මෙන්ම මනෝ ගනේෂන් අමාත්‍යවරයාද කැඳවා ඔවුන්ගේ සහය ඇතිව කුමන්ත්‍රණ ආණ්ඩුව ශක්තිමත් කරගන්නට ජනාධිපතිවරයා උත්සාහ කළද එයද සාර්ථක වූයේ නැත.
 
මේ සියළු දෙනා යලිත් ආවේ සිරිසේන ජනාධිපති ප්‍රමුඛ කුමන්ත්‍රණ ආණ්ඩුවේ ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී නීච ක්‍රියාවට සහය දීමට කොහෙත්ම එකඟ නොවන බව ජනාධිපතිගේ මුණටම කියමින්ය.
 
මනුෂගේ වෙනස !
 
මේ ආකාරයට කුමන්ත්‍රණ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන දේශපාලන ව්‍යාපාර වල සහය නැතිව යන පසුබිමේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී සිටි මානුෂ නානායක්කාර ද එයින් ඉවත්වී ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ගැනීම වෙනුවෙන් කරන සටනට එක්විය. ඔහු නැවතුණේ තවමත් පාර්ලිමේන්තුවේ 118 කට ආසන්න මන්ත්‍රී ප්‍රමාණයක් ලංකා රජයේ නිල අගමැති ලෙස පිළිගන්නා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ළඟය.
 
එපමණක් නොව  කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි ජනබලය ගොඩනැගීම ගැන වන කිසිඳු පුවතක් මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය වල පවා ප්‍රචාරය නොවීමට වගබලා ගන්නට එහි නායකයන් ක්‍රියාත්මක ව තිබිණ. අමාත්‍ය ධුර වලට අමතරව රුපියල් කෝටි 50ක පමණ මුල්‍යමය  අල්ලස් දී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර ව කුමන්ත්‍රණ ආණ්ඩුවට ගැනීමට ගනුලැබූ උත්සාහය ගැන පටිගත කළ දුරකථන සංවාද සාක්ෂි සහිතව සිදුකල  අනාවරණය ඇතුළත් ප්‍රවෘත්ති සාකච්ඡාව රාජ්‍ය මාධ්‍ය වල පමණක් නොව දෙරණ හිරු සිරස වැනි මාධ්‍ය වල පවා ප්‍රචාරය නොවුයේ ඒ අනුවය.
 
සයිබර් අවකාශයේ කිචවූ ළදරු වල්ලිප්පුවන් !
 
 එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එය රැකගැනීම උදෙසා වූ ව්‍යාපාරයන්ට තම මතය ජනතාව වෙත ගෙන යන්න තිබූ එකම මාධ්‍ය වුයේ සමාජ ජාල වෙබ් අඩවි ඇතුළත් සයිබර් අවකාශය පමණය. එයද මේ මොහොත දක්වා සුරක්ෂිතව ඇත්තේ ලංකාවේ සිදුවූ දේශපාලන කුමන්ත්‍රණය ගැන ජාත්‍යන්තරව ලැබුණු අවධානය නිසාය.
 
ඒ පසුබිමේ පාර්ලිමේන්තුව විසුරවීමේ පුවත පළමුව ප්‍රචාරය වූවක් නොව ඒ වෙනුවට සිදුවූයේ මුට්ටිය දමා බැලීමක්ය. ඒ ජනාධිපති මාධ්‍ය ඒකකයේ සමාජ ජාල වෙබ් ක්‍රියාකාරීන් යැයි කියාගන්නා පිරිසක් එකතුව පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපතිවරයට හැකි බවට මතයක් සමාජගත කිරීමය. 
 
ඒ වෙනුවෙන් ව්‍යවස්ථාවේ වගන්ති පවා උපුටා දක්වමින් ඔවුන් ක්‍රියාකළ අතර ඊට සමගාමීව වහාම පාර්ලිමේන්තුව විසුරවා මහ මැතිවරණයකට යන ලෙසට බල කෙරෙන මතයක්ද සමාජ ගත කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවය කටයුතු යෙදීය. 
 
ඒ අනුව පාර්ලිමේන්තුව විසුරවීමේ සූදානමක් ගැන පුවත් පළවෙන්න ගත්තේ මුට්ටිය දමා බලන්නට කොන්ත්‍රාත් ගනු ලැබූ  ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි කියාගත් දේශපාලන ළදරුවන්ගේ වලිප්පුව වැඩිවීම නිසා මිස අනෙකක් නිසා නොවේය. 
 
පහත දැක්වෙන්නේ කුමන්ත්‍රණ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කල නිවේදනයයි.
 
45552493 2738259366186026 7772760043950178304 n