Language Switcher

V2025

දිගම්බරන් සහ මනෝ ගේනවා : කුප්‍රකට ව්‍යාපාරිකයාගෙන් නාමල්ට පොරොන්දුවක් !

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරන පලනි දිගම්බරන් අමාත්‍යවරයාව හෙට (09) දිනයේදී කුමන්ත්‍රණ ආණ්ඩුවට සහයදීම සඳහා ගෙනවිත් දෙන බවට කුප්‍රකට ව්‍යාපාරිකයකු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හමුවී පොරොන්දුවී ඇති බව විශ්වාසවන්ත ආරංචිමාර්ග දන්වා සිටියි.
 
එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙම ව්‍යාපාරිකයා රාජපක්ෂ රෙජීම පාලන සමයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කළු සල්ලි සුදු කිරීමට සහයදීම (මුදල් විශුද්ධිකරණය) කිරීම සම්බන්ධව චෝදනා ලබා සිට පසුව අධිකරණ කටයුත්තේදී රජයේ සාක්ෂිකරුවෙක් බවට පත්වූවෙකි.
 
එම අවස්ථාවේ බන්ධනාගාර ගතවීමේ අවධානමක් පැවති හෙයින් අදාළ ව්‍යාපාරිකයා මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රමුඛ චුදිතයන්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත්වීමට එකඟතාව පළකර ඇත.
 
නමුත් කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමත් සමඟ රාජපක්ෂ පාලන සමයේ මුල්‍ය අක්‍රමිකතා ඇතුළු අපරාධ නඩු සියල්ල නවතා දැමීමට යන බව වාර්තා වීමත් සමඟ මෙම ව්‍යාපාරිකයා නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හමුවී සමාව ඉල්ලා ආණ්ඩුව ශක්තිමත් කිරීමට දායකවීමක් ලෙස පලනි දිගම්බරන් අමාත්‍යවරයා සඳහා ඉහළ ලංසුවක් ලබාදීමට සූදානම් බව දන්වා ඇත.
 
එසේම තමන්ට අමාත්‍යවරයා සමඟ හිතවත්කමක් ඇති බවත් ඒ හිතවත්කම හරහා සැලකිය යුතු බලපෑමක් සිදුකළ හැකි බවට ව්‍යාපාරිකයා එහිදී සහතිකවී ඇති බවද දැනගන්නට ඇත.
 
එහිදී පලනි දිගම්බරන් අමාත්‍යවරයාව ආණ්ඩුවට සම්බන්ධකර ගතහොත් ඒ හරහා  දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අනෙක් පාර්ශවද එක්කර ගැනීමේ ඉඩප්‍රස්ථා සම්බන්ධවද සාකච්ඡා වී ඇති බවත් ඒ සඳහා දරන වියදම් තමන් තනිව දරන බවට අදාළ ව්‍යාපාරිකයා එකඟවී ඇති බවත් වැඩිදුරටත් දැනගන්නට ඇත.
 
අධිකරණ විනිසුරු මාරුවක් සඳහා නාමල්ගෙන් පොරොන්දුවක් !
 
මෙම ගනුදෙනුව සාර්ථක කර ගැනීම වෙනුවෙන් මෙම කුප්‍රකට ව්‍යාපාරිකයාට සම්බන්ධ නඩුවක් විභාග කරන අධිකරණ විනිසුරුවරයෙකු මාරු කරදීම ගැනද එකඟතාවක් ඇතිව තිබෙන බවත් වාර්තා වන අතර එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊට එකඟතාව පළකර ඇති බවත් දැනගන්නට ඇත. 
 
ඒ අනුව නාමල් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ පොරොන්දු වෙන ආකාරයට හෙට (10) දිනයේ පලනි දිගම්බරන් අමාත්‍යවරයාව ආණ්ඩුවේ සහයට ගෙන ඒමට කටයුතු කළහොත් තමන් ව්‍යාපාරිකයාගේ පළමු ඉල්ලීම ඉටුකරදීමට මැදිහත් වන බවය.
 
මේ අනුව පෙනී යන්නේ රාජපක්ෂ සමයේ මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධව බරපතල චෝදනා ලබා සිටි ජාවාරම්කාර ව්‍යාපාරිකයන් නැවතත් කුමන්ත්‍රණ ආණ්ඩුව සමඟ සහයෝගීව කටයුතු කරන්නට ගෙන ඇති බවය. එසේම ඒ සඳහා සුපුරුදු ආකාරයට රාජපක්ෂ පුත්‍රයන් සමඟ ඒ ගනුදෙනු දියත් කර ඇති බවද පැහැදිළි වෙයි.
 
මනෝ ගනේෂන් ජනාධිපතිට කියපු කතාව !

කෙසේ වුවත් කුමන්ත්‍රණ ආණ්ඩුවට එක්ව සහය දෙන ලෙස  අමාත්‍ය මනෝ ගනේෂන් ඇතුළු ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයට ජනාධිපතිවරයා විසින් සිදුකළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බව එහි නායක අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කර ඇත.

පසුගියදා ජනාධිපතිවරයාගේ කැඳවීමට අනුව අමාත්‍ය මනෝ ගනේෂන් වෙත ආරාධනා කර තිබු අතර ඒ අනුව අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම ජනාධිපතිවරයා මුණගැසී තිබුණේ පසුගිය  (07) වනදාය.
 
එහිදී සාකච්ඡා කළ කරුණු පසුව මාධ්‍ය හමුවේ අනාවරණය කිරීමට ද මනෝ ගනේෂන් අමාත්‍යවරයා කටයුතු කළ අතර ඊට අදාළව voicetube.lk වෙබ් අඩවිය නිකුත්කළ වීඩියෝව පහත දැක්වේ.