ජනාධිපති සිරිසේන ඝාතනය කරවීම සඳහා කුමන්ත්‍රණ කළ කණ්ඩායමේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිටින බවට චෝදනා එල්ල කිරීම සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් සිදුනොකිරීම ගැන අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක පොලිස්පතිවරයා වෙතින් විමසා ඇතැයි වාර්තා වෙයි.
එසේම ඉදිරි විමර්ශනයකදී ඒ සඳහා අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බවත් එහිදී දන්වා ඇති බවද දැනගන්නට ඇති අතර එහෙත් මෙතෙක් පොලිස්පතිවරයා ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද වාර්තා වෙයි.
කෙසේ වුවත් ජනාධිපති සිරිසේන විසින් කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවාලීමේ ප්‍රධාන හේතුව ලෙස ජාතිය අමතා සිදුකල විශේෂ ප්‍රකාශයේදී පවසා සිටියේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් තිබු බවය. නමුත් කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවා මේ වන විට සති දෙකකට අධික කාලයක් ගතවී ඇතත් මෙම ඝාතන තැත සම්බන්ධව කිසිඳු ක්‍රියා මාර්ගයක් ගෙන ඇති බවක් දක්නට නොමැත.
මේ අතර මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව ආරක්ෂක අංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ නාමල් කුමාර අදාළ චෝදනා එල්ල කළ මාධ්‍ය හමුවට පෙර දිනයේ රන්න ප්‍රදේශයේ සිට ඇති බවයි. පසුව අධිවේගී මාර්ගය ඔස්සේ ඔහුකොළඹ පැමිණ ඇති බවත් කොළඹදී ඔහුව නංවාගත් ප්‍රභූ රථයක් සම්බන්ධව ද තොරතුරු ලැබී ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

