දයාසිරි හිත හදාගනියි !

දයාසිරි හිත හදාගනියි !

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු දමා ඇති කොන්දේසියක් හේතුවෙන් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍ය දයාසිරි ජයසේකරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමේ අවස්ථාව අහිමිව ඇතැයි වාර්තා වෙයි.

ඒ කිසිම හේතුවක් මත දයාසිරි ජයසේකරව මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කර නොගන්නා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා දමා තිබෙන කොන්දේසිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයද පිළිගෙන ඇති නිසාය.

කෙසේ වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වය යටතේ දයාසිරි අමාත්‍යවරයාට නාම යෝජනා ලබාදීම සම්බන්ධව තමන් විරුද්ධතාවක් නොමැති බවත් මැතිවරණ කාල සීමාවේ ජයග්‍රහණය කරවිය යුත්තේ කවුද යන්න පොදුජන පෙරමුණට සහයදෙන ජනතාව දැනටමත් තීන්දු කර ඇති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ස්ථාවරය වන බවද දැනගන්නට ඇත.

ඒ අනුව මේ වන විට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ සහ ශ්‍රීලනිප 16 කණ්ඩායම නියෝජනය කළ මන්ත්‍රීවරුන් බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සමබන්ධවී ඇතත් දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට ඒ අවස්ථාව අහිමිව තිබේ.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පාර්ශව අතුරින් තෝරාගත් පිරිසක් පමණක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධකර ගැනීමට තීරණය වී ඇති නමුත් එසේ කිසිසේත්ම සම්බන්ධකර නොගන්නා පිරිසක්ද ශ්‍රීලනිපයේ සිටින බවය. ඔවුන් පසුගිය කාලය පුරා සිරිසේනවාදී ප්‍රතිපත්තියක සිට රාජපක්ෂවරුන් විවේචනය කළ බවත් ඒ හේතුවෙන් දිස්ත්‍රික්ක වල පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ ගැටළු ඇතිවීමේ අවධානමක් තිබෙන කිසිවෙකුවත් පක්ෂයට එක්කර නොගන්නට තීරණය වී ඇත.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා යහපාලන ආණ්ඩුවෙන් ඉවත්ව ශ්‍රීලනිප 16 කණ්ඩායම ලෙස ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට ගිය අවස්ථාවේ ද මේ ආකාරයට ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඔහුව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර එහිදී නැවත වතාවක් සිරිසේන ජනාධිපතිට සමීපව දේශපාලන කටයුතු කිරීමට ජයසේකර මන්ත්‍රීවරයාට සිදුවිය.

දයාසිරි හිත හදාගනි !

මේ අතර දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට හිතවත් ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ පොහොට්ටු සාමාජිකත්වය ගැනීමේ අදහසක් දයාසිරි මහතාට නොමැති බවය. එසේම ඔහු දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් ජනාධිපති සිරිසේන සමඟ සමීපව දේශපාලනය කරනු ඇති බවත් ඊළඟ පක්ෂ සම්මේලනයට පෙර දයාසිරි ජයසේකර මහතාට ශ්‍රීලනිප මහ ලේකම් ධුරය ලැබීමට අවස්ථාව තිබෙන බවද එම ආරංචිමාර්ග පවසයි.

ශ්‍රීලනිප බහුතරය දෙලොවක් අතර !

මේ අතර අද රාත්‍රිය වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමේ ක්‍රමවේදය ගැන එකඟතාවක් නැති බවද දැනගන්නට ඇත. ඒ හේතුවෙන් මෙවර මහ මැතිවරණ හමුවේ තම නාම යෝජනා සම්බන්ධව දැඩි අසහනකාරී තත්ත්වයක් මතුව ඇති බවත් දැනගන්නට තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න