මහින්ද රාජපක්ෂ යනු කල් ඉකුත්වූ දේශපාලනඥයෙක් බවත් ඔහුගේ රුව යොදා පෝස්ටර් ඇලවීමට තරම් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අහේනියක් නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ශ්‍රිලනිපය ජනතාව නොමග යැවීම සඳහා මහින්ද රාජපක්ෂගේ ඡායාරූපය සමග බුලත් කොලේ ඇතුළත් පෝස්ටර් අලවා ඇති බවට එල්ලවී ඇති චෝදනාව සම්බන්ධව newstube.lk සිදුකල කරුණු විමසීමකට පිළිතුරු දෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පළාත් පාලන මැතිවරණය ආසන්න වන විට ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අත්කරගෙන සිටින ජනප්‍රසාදය දැක වියරු වැටී සිටින කොටස් මෙවැනි මඩ ප්‍රචාර හරහා වාසි ගැනීමට උත්සහ කරන බවත් මහත්මා දේශපාලනයක නිරතවන තම පාර්ශවය එවැනි මඩ ප්‍රචාර පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් පැවසීය.
එසේම මේ මොහොතේ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති රකින්නේ කවුද යන්න පිළිබඳ ජනතාව තුළ තහවුරු වී ඇති බවත් ඒ හේතුවෙන් පක්ෂය කඩන්න වෙරදරණ අයගේ ජායාරූප අනාගතයේදීද තම පක්ෂය අවශ්‍ය නැති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
මහින්ද රාජපක්ෂ ජාතික වස්තුවක් බවත් ඔහුගේ රුව සමඟ බුලත් කොලය යොදා පෝස්ටර් අලවන නින්දිත උත්සාහයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියත්කර ඇති බවත් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගමම්න්පිල ය.

