හින්දු බැතිමතුන්ට ''වැඩේ දෙන” බවට ආණ්ඩුකාර බිරියගෙන් තර්ජන! (වීඩියෝ)

හින්දු බැතිමතුන්ට ''වැඩේ දෙන” බවට ආණ්ඩුකාර බිරියගෙන් තර්ජන! (වීඩියෝ)

උරුමය පිළිබඳ මතබේදයකට තුඩුදී තිබෙන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුජාභුමියකදී නැගෙනහිර ආණ්ඩුකාර බිරිඳ, පොලිසිය ඇතුළු රජයේ නිලධාරීන් හමුවේ හින්දු බැතිමතුන් පිරිසකට බැනවැදී තර්ජනය කර දෙමළ සස්කෘතික සංකේත කෙලෙසීම සාම්පූර් ප්‍රදේශයේ ගම්වාසීන්ගේ කෝපයට හේතුවී තිබේ.

මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කුනිතීවූ ග්‍රාම නිලධාරි වසමේ, සූඩෙයිකුඩා ගමේ මද්දලමලෙයි කන්දේ පවත්වාගෙන යන ස්කන්ධකුමාර කෝවිල් භූමියට සිය සැමියා සමගින් ගිය දීප්ති බෝගොල්ලාගම පොළොවේ ඇඳ තිබූ “කෝලම්” නමින් හැඳින්වෙන හාල්පිටියෙන් අඳින ලද දෙමළ සාම්ප්‍රදායානුකූල බිම් සැරසිල්ලක් පාවහන් සහිත පයින් පාගා එහි සිටියවුන්ට තර්ජනය කරනු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් රූ ගත කර ඇත.

කෝලම් චිත්‍රය වටකොට සිටි කාන්තාවන් “මුරුගා, කාලි අම්මා” යි හඬ නගද්දී, එතනට පැමිණි ආණ්ඩුකාර බිරිය “තමුසෙලා ඔක්කොමල්ලාට දෙනවා වැඩේ” යයි ඇඟිල්ල දිගු කරමින් බහුතරයක් කාන්තාවන්ගෙන් සැදුම්ලත් බැතිමතුන්ට කරනු ලැබුනු වීඩියෝ රූප රාමු වල දැක්වේ.

ඇය සමග ආ පොලිස් නිලධාරිනියන් ද පාවහන් ගලවා සිටිනු දැකගත හැකිය.

දීප්ති බෝගොල්ලාගම එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස කෝපයට පත් කාන්තාවන් කෑගැසීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් ඇය කැඳවාගෙන ගිය බව වාර්තාවේ.

ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම එහි ගොස් සිටියේ අලුතින් කණිනු ලැබූ ළිඳක් පිහිටි භූමිය පෞරාණික චෛත්‍යයක් ඉදිකර තිබූ ස්ථානයක් බව පවසමින් එම වැඩ කටයුතු නවතා ලන ලෙස සේරුවිල සිට පැමිණි භික්ෂුන් වහන්සේ දෙනමක් පසුගිය සතියේ කෝවිල් පාලනාධිකාරියට බල කිරීම නිසා දායකයන් අතර හටගත් නොසන්සුන්තාවය පිළිබඳව විමසා බැලීමටය.

ජලය ලබා ගැනීම කෝවිලට මීටර සියයක් පමණ දුරින් ළිඳ කණින ලද්දේ මුතූර් ප්‍රාදේශීය සභාවේ ආධාරයද ඇතිව බව කෝවිල් පාලනාධිකාරිය පවසයි.

ස්කන්ධ, කාලි සහ බහිරව හින්දු දෙවි දේවතාවියන් වෙනුවෙන් මද්දලමලෙයි කන්දේ කලක් තිස්සේ පුද පූජා පවත්වන ලද බව පවසන රාසයියා පද්මනාදන් පූජකතුමා කියා සිටින්නේ තමන් ඒ වෙනුවෙන් කැපවුනු හත් වැනි පරම්පරාවට අයත් අයකු බවයි.

 බෞද්ධ උරුමය:

 මතභේදයට තුඩුදී ඇති භූමියට බෞද්ධ උරුමයක් ඇතැයි ජනාධිපති ලේකම්වරයාටත් තමන් දැනුම් දී තිබෙන බව සේරුවිල මංගල රජමහ විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම නාහිමියන් මාධ්‍යවේදීන්ට පවසා තිබුනි.

ප්‍රදේශයේ දෙමළ වැදි ජනතාව කෝවිලේ ආදිතම දායකයන් බව පවසන පද්මනාදන් පූජකතුමා කිසිදා පල නොකළ අයිතිවාසිකමක් කියා පෑමට බෞද්ධ භික්ෂුන් වහන්සේ ඉදිරිපත් වීම ගැන විමතිය පළකර සිටී.

කෝවිලේ භාණ්ඩාගාරික චන්ද්‍ර මෝහන් ගගන හා කියා සිටියේ කලක් තිස්සේ පුද පුජා පැවැත්වුවද ස්ථිර ගොඩනැගිලි නොතිබුනු මතභේදයට ලක්වූ කෝවිල 2013 දී ලියාපදිංචි කොට පූජාභුමි සංවර්ධන අරමුදලේද සහාය ඇතිව ඉදිකිරීම් අරඹන ලද බවයි.

Bogollagama 1අදාළ ස්ථානය මිනුම් කටයුතු කර මායිම් සලකුණු කිරීමටත් සිව් වසරකට පෙර ඉදිකරන ලද මෙම හින්දු කෝවිලේ ලියාපදිංචිය පිළිබඳව විභාග කරන ලෙස ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම තමන් සමග ගොස් සිටි ත්‍රිකුණාමලය දිසාපති එන් ඒ ඒ පුෂ්පකුමාරට උපදෙස් දී තිබේ.

ඒ සමගම ඔහු වැඩබලන මුතූර් ප්‍රාදේශීය ලේකම් ඒ තාහීර් ට නියෝග කර ඇත්තේ ළිඳේ කැනීම් නවතා දමන ලෙසයි.

ළිඳක් නොමැතිව වතුර ලබා ගත නොහැකි බව ප්‍රදේශවාසීන් විසින් පෙන්වා දීමෙන් අනතුරුව බවුසර් මගින් ජලය සපයන බවට නැගෙනහිර ආණ්ඩුකාරයා පොරොන්දුවූ බව 'රේඩියෝ ගගන' වාර්තාකරු පවසයි.

මේ වනවිට කෝවිල් භූමියට විශේෂ ආරක්ෂාවක් යොදා ඇති බව පවසන ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා කියා සිටින්නේ ඉදිරි පියවර ගැනීම සඳහා පුරාවිද්‍යා විමර්ශන වාර්තාවක් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

(radiogagana)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න