එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසට බහුතර බලයක් නොලැබෙතැයි සිතෙනා නිසා පොහොට්ටුව හා එක් වී බලය පිහිටුවීම ගැන ප්‍රකාශ නිකුත් කරන බවත් ඔවුන්ට මෙන් බලය පිහිටුවීම සම්බන්ධව පොහොට්ටුවට කිසිදු බියක් නැති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.
පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමේදී එකතු වන්නේ කා සමඟද එකතු නොවන්නේ කා සමඟද යන්න කල්පනා කිරීමට ඒකාබද්ධ පොදුජන පෙරමුණට අවශ්‍ය නැති බවත් හෙතෙම පැවැසීය.
බහුතර පළාත් පාලන ආයතනවල බලය ඒකාබද්ධ පොදුජන පෙරමුණට හිමි වන බවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසට බහුතර බලයක් තියා කිසිදු ආයතන බලයක් නොලැබෙන බවද ඔහු පැවැසුවේය.
එක එක කාලෙට කියන කතා :
ඇමැති සුසිල් ප්‍රේමජයන්ත එක එක කාලෙට එක එක කතා කියනා බවත් මේ කාලේ කියනා එක් කතාවක් ලෙස පොහොට්ටුව හා එක්වී බලය පිහිටුවීමේ ප්‍රකාශය හැඳින්විය හැකි බවත් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
ඕනෑම නම් ඡන්දෙන් පසුව ඒ ගැන කල්පනා කර බලමු යැයිද මන්ත්‍රිවරයා පැවැසුවේය.
බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පොහොට්ටුව හා එක්වී බලය පිහිටුවනවා' යැයි ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කළ ප්‍රකාශය සම්බන්ධ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් මන්ත්‍රිවරයා එසේ පැවැසුවේ ඊයේ (28දා) ජා.නි.පෙ. ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් වෙන්වෙන්ව තරග කළද ඡන්දයෙන් පසු පක්‍ෂ දෙක එකතුවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව පෙරේදා (27) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී විද්‍යා හා තාක්‍ෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසිය.

