Language Switcher

V2025

රාජපක්ෂලාගේ අපරාධ සඟවන්න සිරිසේන එළිපිට වැඩ : CID  නිශාන්තට මාරුවක් ! 

රාජපක්ෂ පාලන සමයේ සිදුවූ දරුණු අපරාධ කිහිපයක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් විමර්ශන කටයුතු සිදුකරන පොලිස් පරීක්ෂක  නිශාන්ත සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙනත් අංශයක් සඳහා මාරු කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට මේ සම්බන්ධව නියෝගය නිකුත්කර ඇත. 

මේ සම්බන්ධව ලැබී ඇති වැඩිදුර තොරතුරු වල සඳහන් වන්නේ කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීමේදී ජනාධිපති සිරිසේන සහ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ අතර ඇතිවූ සම්මුතියක් වශයෙන් මෙම ක්‍රියාව සිදුකර ඇති බවය. 

අපරාධ 4ක විමර්ශන නිලධාරියා !

විශේෂයෙන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් ඇතුළු තරුණයින් 11 දෙනෙකු 2008 වසරේදී පැහැරගෙන අතුරුදහන් කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස්  එල්ල කල මාරාන්තික ප්‍රහාරය, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට එල්ලවූ මාරාන්තික ප්‍රහාරය, මෙන්ම මාධ්‍යවේදී නාමල් පෙරේරාට සිදුවූ පහරදීමට අදාළ විමර්ශන කටයුතු භාර ප්‍රධාන විමර්ශන නිලධාරියා වන්නේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාය.

රවී අත්අඩංගුවට නොගත්තේ සිරිසේනගේ බලපෑමට !

නිශාන්ත සිල්වා මහතා මෑතකදී  කතාබහට ලක්වූයේ තරුණයන් 11 දෙනා පැහැරගැනීමට අදාළ විමර්ශනයේදී  එහි ප්‍රධාන චුදිතයකු වූ නාවික හමුදාවේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගැනීම සහ  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවී විජේගුණරත්න විසින් එම සැකකරුවාව   අත්අඩංගුවට පත්වීම වැළක්වීම සහ  නාවුක හමුදා නිවස්නයක සඟවාගෙන සිටි බවට චෝදනා ඔප්පු කිරීමය.

අනතුරුව අධිකරණය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවී විජේගුණරත්න අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කළත් දේශපාලන බලපෑම් හමුවේ එය සිදුකරගත නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වනු ලැබිණ. 

එපමණක් නොව කුමන්ත්‍රණ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස හේමසිරි ප්‍රනාන්දු වැඩ භාර ගන්නා විටත් ඒ අවස්ථාවට පවා අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග නිකුත්කර තිබු රවී විජේගුණරත්න සහභාගීව සිටියේය. 

ඒ අනුව දැන් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුවත්  අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමට නියෝග ලබා සිටින අපරාධ චෝදනා ලැබූවන් නිදහසේ සිටීමත් අතර රහස පැහැදිළිය.

විද්‍යා දැරිය ඝාතකයන් ඇල්ලුවේ නිශාන්ත !

කොහොම නමුත් ආරක්ෂක අංශ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින අතිදක්ෂම විමර්ශන නිලධාරීන්ගෙන් අයෙකුය. රට තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කල "යාපනයේ විද්‍යා දැරිය ඝාතනය" භාර විමර්ශන නිලධාරියා වුයේද නිශාන්ත සිල්වාය. එහිදී ඔහු ඝාතකයින් පමණක් නොව සිය විමර්ශනය අවසන් කර සිටියේ ඔවුන් වසං කළ පොලිසියේ ඉහළ නිලධාරියකුද අනාවරණය කරගනිමින්ය.  එසේම කප්පම් ගැනීම වෙනුවෙන් කුරුනෑගල දැරියක් පහර ගැනීම සිදුවීමේද කප්පම් කරුවන් සියළු දෙනා අත්අඩංගුවට ගැනීමේ විමර්ශනය ද නිශාන්ත සිල්වාගේය.

පොලිස් කොමිසම කියා දෙයක්ද මේ රටේ ඇත !

ඒ හැකියාව නිසාම ජනාධිපති ඔහුට ලබාදී ඇති ස්ථාන මාරුව ගැන වැඩිදුර හොයන්නට අංජනම් අනවශ්‍යය. ව්‍යවස්ථා විරෝධී ලෙස කුමන්ත්‍රණ ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුවේ බහුතරය නැති අගමැති කෙනෙකු අගමැති කරගෙන, විශ්වාස භංග දෙකකින් ඒ අගමැති පරාජය කර තිබියදීත් ඔය ඔට්ටු නෑ කියන මේ සිරිසේන ජනාධිපති දැන් පාර්ලිමේන්තුවෙන් පොලිසියට පිවිස ඇත.

සියල්ලට වඩා වැදගත් කරුණක් වන්නේ දැන් පොලිස්පතිට සහ ජනාධිපතිට අවශ්‍ය ආකාරයට පොලිසියේ නැටුම් නටන්නට නොහැකි වීමය. ඒ ස්වාධීන පොලිස් කොමිසමක් තිබෙන නිසාය. නිශාන්ත සිල්වා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ය.

අපට ලැබී ඇති තොරතුරුවලට අනුව නම් ඒ හේතුව නිසා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා  වෙනත් කොට්ඨාශයකට මාරු කරන්නට නම් පොලිස් කොමිසම නිර්දේශ කල යුතුව ඇත.

එහෙත් දැන් සිරිසේන ජනාධිපති පාර්ලිමේන්තුව නම් දාගැබ ගිලදමා ඇති නිසා පොලිස් පොලිස් කොමිසම අග්ගලයක් ලෙස සලකුවාද වැරදි නැත.

කොහොම නමුත් මේ හමුවේ අපට කියන්න ඇත්තේ ඒ සිරිසේන පුරවැසි ඔබේ දොරට තට්ටු කරන දවසද වැඩි ඈතක නොවන බවය.  සිරිසේනගේ මේ අත්තනෝමතික ක්‍රියා ආපසු හැරවුයේ නැති නම් ඔහු ඔබේ දොරට තට්ටු කරන අවස්ථාව  කාලය පිළිබඳ ප්‍රශ්නයක් මිස නොවිය හැක්කක් නොවේය.