Language Switcher

V2025

සිරිසේනගේ යෝජනාවට එකඟ නොවෙමු ! - අනුරුද්ධ ප්‍රදීප්

රනිල් වික්‍රමසිංහ නොවන කෙනෙකුට අගමැතිකම දීමට තමන් සූදානම් යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බව ප්‍රසිද්ධය. එබඳු දෙයකට අප කිසිසේත්ම එකඟ විය යුතු නැත. 

මීට පෙර සියක් වතාවක් පෙන්වා දී ඇති පරිදි අපේ රටේ ක්‍රියාත්මක අර්ධ ජනාධිපති ක්‍රමයේ මූලිකම ලක්ෂණයක් වන්නේ, එය පාර්ලිමේන්තුව මත පදනම් වූ ජනාධිපති ක්‍රමයක් වීමයි. එනම් ඊට අනුව රටේ සත්‍ය විධායක බලය හිමි වන්නේ ප්‍රයෝගිකව ගත්විට පාර්ලිමේන්තුවේ බලය හිමි කණ්ඩායමටය. 

මෙය මීට පෙර කිසිදු ජනාධිපතිවරයෙක් අභියෝගයට ලක් නොකළේය. උදාහරණ ලෙස ඩී. බී. විජේතුංග සහ චන්ද්‍රිකා කුමාරතුංග යන දෙදෙනාම තමන්ට විරුද්ධ පක්ෂවලට පාර්ලිමේන්තු බලය හිමි වූ විට, අගමැති කවුද යන්න තීරණය කිරීම සඳහා එම පක්ෂවලටම අවස්ථාව ලබා දුන්හ. මේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මගින් පැහැදිලිවම මග පාදා දී තිබෙන්නේ එබඳු ක්‍රමයකටය. ජනාධිපතිට කළ හැක්කේ හරියටම ගතහොත් ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රතිපාදනයන්ට යටත්ව පාර්ලිමේන්තුව විසුරුවීම පමණකි. 

මෙවර ඇති වී ඇති තත්ත්වය තරමක් වෙනස්ය. එනම් මෙවර ජනාධිපතිවරයා විසින් හදිසියේම පිල් මාරු කර ඇති අතර එනයින් ඔහු ස්වකැමැත්තෙන්ම පාර්ලිමේන්තුවේ බලය හිමි පක්ෂය වෙනුවට එහි විරුද්ධ පැත්තට ගොස් සිටී. ඒ අනුව දැන් තිබෙන්නේ විජේතුංග ජනාධිපති 1994 අගෝස්තු 16 දිනෙන් පසුව මුහුණ දුන් සහ චන්ද්‍රිකා 2001 දෙසැම්බර් 05 වෙනිදායින් පසුව මුහුණ දුන් තත්ත්වයට සමාන තත්ත්වයකි. ඒ අවස්ථා දෙකේදීම අගමැති කවුදැයි තීරණය කරන වැඩේ තමන්ට පවරා ගන්නට ඒ ජනාධිපතිවරු කටයුතු කළේ නැත. එය පාර්ලිමේන්තු බහුතර බලය හිමි පක්ෂයේ අභ්‍යන්තර කටයුත්තක් ලෙස සලකා ඔවුහු නිහඬව සිටියහ. 

අර්ධ ජනාධිපති ක්‍රමයේ තිබෙන ප්‍රධානතම යහපත් ලක්ෂණයක් වන්නේ මෙසේ විධායක බලය පාර්ලිමේන්තුව මත පදනම් වීමයි. නමුත් මෙවර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කරන්නට යන්නේ කුමක්ද? ඔහු තමන්ගේ නොවන පක්ෂයක නායකයා කවුදැයි තීරණය කිරීමේ කටයුත්ත තමන්ට පවරා ගන්නට උත්සාහ කරමින් සිටී. එයට කිසිසේත්ම ඉඩ දිය යුතු නැත. මෙය රනිල් වික්‍රමසිංහ පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධානතම සංවරණ තුලන උපක්‍රමයක් අභියෝගයට ලක්වන අවස්ථාවකි. ඊට කිසිසේත්ම ඉඩ දිය යුතු නොවන්නේ එය ඉතාමත්ම වැරදි පූර්වාදර්ශයක් සපයන බැවිනි.
ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තුවේ වැඩය පාර්ලිමේන්තුවට කරන්නට ඉඩ දෙන්න. අපේ රටේ ඇත්තේ පූර්ණ ජනාධිපති ක්‍රමයක් නොවේ. අර්ධ ජනාධිපති ක්‍රමයකි. එහි යහපත් බව රැක ගනිමු!!!!  

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය