අභියාචනාධිකරණය විසින් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස පෙනීසිටි මහින්ද රාජපක්ෂට එම ධුරය දැරීම අත්හිටුවීමෙන් පසුව ඒ සඳහා චමල් රාජපක්ෂ හෝ නිමල් සිරිපාල ද සිල්වා පත්කිරීමට යෝජනාවක් ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
නීතිවේදීන් පෙන්වාදෙන ආකාරයට අභියාචානාධිකරණ තීන්දුව සමඟ මේ වන විට සිරිසේන ජනාධිපති හමුවේ විකල්ප දෙකක් ඇති අතර ඒ විකල්ප අගමැතිවරයකු ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම හෝ තනිව රාජ්‍ය කටයුතු මෙහෙයවා ගැනීමය. එහෙත් රාජ්‍ය මුල්‍ය සම්බන්ධ වගකීම පාර්ලිමේන්තුව සතු බැවින් නව වසරේ රාජ්‍ය කටයුතු අර්බුදයකින් තොරව කරගෙන යාමට නම් අග්‍රාමාත්‍යවරයෙකු පත්කර අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීම කඩිනමින් සිදුකල යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.
එසේම ඊයේ (03) එක්සත් ජාතික පෙරමුණ සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපති සිරිසේන දැඩිව සඳහන්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම අත්සන් කර දෙනු ලැබුවත් තමන් කිසිසේත් එක්සත් ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබානොදෙන බවය. ඒ අනුව මතුව ඇති දේශපාලන තත්ත්වය තවත් තීව්‍ර වන ලකුණු පැහැදිලිව පෙනෙන්නට ඇත.
චමල් රාජපක්ෂ හෝ නිමල් සිරිපාල ද සිල්වා අග්‍රාමාත්‍ය ධුරයට නම් කර තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට යෝජනාවී ඇත්තේද ඒ අනුවය.
සිරිසේනගේ හිත තනියම කරන්න
කෙසේවුවත් මේ සම්බන්ධව අදහස් දැක්වූ ජනාධිපති කාර්ය මණ්ඩලයේ ඉහල නිලධාරියෙකු සඳහන් කර සිටියේ චමල් හෝ නිමල් අගමැති ධුරය සඳහා පත්කරන ලෙසට යෝජනාවී ඇතත් තවමත් ඒ සම්බන්ධව ජනාධිපතිවරයා සෘජු තීරණයක් ගෙන නොමැති බවය.
කෙසේ වුවත් ඊයේ අභියාචනාධිකරණ තීන්දුවෙන් පසුව කාර්ය මණ්ඩලය කැඳවූ ජනාධිපති සිරිසේන සියළු කටයුතු අර්බුදයකින් තොරව සිදුකරගෙන යාමට උපදෙස් නිකුත් කල බවත් එහිදී තවදුරටත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය නොවන බැවින් අමාත්‍යංශ සම්බන්ධීකරණය කරමින් ලේකම්වරුන් හරහා රාජ්‍ය පවත්වාගෙන යාමට තමන් සූදානම් බව දැන්වූ බවද ඔහු පැවසීය.

