ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු ජනබල මෙහෙයුම කල්දැමීම සඳහා සංවිධාන රැසක් කළ ඉල්ලීම් හමුවේ එය කල්දැමූ නමුත් ඊළඟ සතියේ වඩාත් ශක්තිමත්ව සහ සංවිධානාත්මකව ජනබල මෙහෙයුම දියත්කරන බව එක්සත් ජාතික පෙරමුණ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
අද (10) අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ හමුවේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කල අතර ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම වෙනුවෙන් දියත්වූ සටන මේ වන විට සමස්ථ පොදුජන සටනක් බවට පත්ව තිබෙන බවද ඔහු පවසා ඇත.
අද දින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී පළාත් සභා මන්ත්‍රිවරුන් අමතා සිදුකල සම්පූර්ණ කතාව පහත දැක්වේ.
ඉතිහාසයේ කවදාවත් සිදුනොවූ - ඔක්තෝම්බර් 26 ව්‍යවස්ථා විරෝධි ක්‍රියාව :
ඔක්තෝම්බර් 26 දින ආරම්භ වූ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාව අද රටේ ජනතාවගේ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ජනතාවගේ අයිතිවාසිකම් සොරකම් කිරීමක් හැටියටයි අපි මේ තත්වය දකින්නේ. අගමැතිවරයා ඉවත්කිරීමට උත්සාහ කිරීම ඇමතිවරුන් මාරු කිරීමට උත්සාහ කිරීම ඇතුළු මේ සියලූ කාර්යයන් වලින් පහර ගැසුවේ ජනතාවටයි.
පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන පුද්ගලයා අගමැති ධූරයට පත්කළ යුතුයි. පාර්ලිමේන්තුවට බහුතර බලයක් ලබාදීම තීරණය කරන්නේ ජනතාවයි. අවුරුදු පහකට වරක් පැවැත්වෙන ඡන්දයෙන් කුමන කණ්ඩායමක් බලයට පත් කරනවාද යන්න තීරණය කරන්නේ ජනතාවයි. මේ ක්‍රමය 1948 දී ඩී. එස්. සේනානායක අගමැතිතුමන් විසින් නිදහස ගෙන ආණ්ඩු ක්‍රමය ආරම්භ කළදා පටන් අපි අනුගමනය කරනවා. විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කළායින් පසුව වෙනත් පක්ෂයකට බහුතර බලය ලැබුණා නම් ඒ අනුව එම ක්‍රමයට ගෞරව කරමින් අගමැතිවරු ජනාධිපතිවරු පත්කළා.
ඒ අනුව 2003 වසරේදී දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යටතේ අගමැති වශයෙන් පත්වන්නට මටත් අවස්ථාව ලැබුණා. නමුත් අද සිදුවී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව රජය විසුරුවා හැරීමයි, අගමැතිවරයා මාරුකිරීමට කටයුතු කිරීමයි, මේ රට පාලනය කිරීමට කටයුතු කිරීමයි. ජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂත් කළේ පාර්ලිමේන්තුවට පයින් ගසා මේ රට පාලනය කිරීමට කටයුතු කිරීමයි. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවට දැන් මුළු රටම විරුද්ධ වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවට එරෙහිව ගොස් රට පාලනය කිරීමට ගත් පියවරට එරෙහිව රටපුරා ජනතා විරෝධය මතුවී තිබෙනවා.
අරලියගහ මන්දිරයේ ඇරඹි සටන :
පසුගිය ජනාධිපතිවරණයේදී මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂව ප්‍රතික්ෂේප කරමින් ජනවරම ලබාදුන්නා. ඒ ජනවරමට පයින් ගසා කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඔහුට එය ප්‍රතික්ෂේප කළ හැක්කේ ඊළඟ මැතිවරණයේදීයි. උද්ගතව තිබෙන මේ තත්වයට ජනතාව කැමති නැහැ. මහින්ද රාජපක්ෂ අගමැතිකමට ඇතිවි තිබෙන කෑදරකම කුමක්ද? අද මේ ක්‍රියාවට එරෙහිව විශාල ජනතා ව්‍යාපාරයක් ගොඩනැගී තිබෙනවා.
ඔක්තෝම්බර් 26 දින රාත්‍රිය මම ගතකළේ අරලියගහ මන්දිරයේ. මා සාමාන්‍යයෙන් රාත්‍රිය ගතකරන්නේ මගේ පෞද්ගලික නිවසේ බව ඔබ දන්නවා. නමුත් මා එදා එම තත්වය වෙනස් කොට රාත්‍රි මෙහි ගතකළා. පසුදින අළුයම වන විට එක්සත් ජාතික පාක්ෂිකයින් අරලියගහ මන්දිරයට පැමිණ සිටියා. මුලින්ම මේ විරුද්ධත්වය ආරම්භ වුනේ අපේ පාක්ෂිකයන්ගෙන් බව කිව යුතුයි. නමුත් දින දෙක තුනක් ගතවෙද්දී එජාප නොවන කණ්ඩායම් පවා මෙහි රැස්වෙන්නට පටන් ගත්තා.
ජනාධිපතිවරයා ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලියට එරෙහිව අපි අරලියගහ මන්දිරය අසල සංවිධානය කළ ප්‍රථම රැස්වීමට අපේ පාක්ෂිකයන් පමණක් නොව, වෙනත් පක්ෂවල අය මෙන්ම දේශපාලන පක්ෂවලට අයත් නොවන සිවිල් පුරවැසියන්, විද්වතුන් කලාකරුවන් රාශියක් පැමිණ සිටියා. ඉන් පසුව ලිප්ටන් වටරවුමේ, මහනුවර හා ගාල්ලේ පැවති විරෝධතා රැස්වීම්වලටත් එම පිරිස් සමඟ ඔබත් සහභාගි වුණා. බොහෝ නිර්පාක්ෂිත මැදහත් ජනතාව විශ්වාස කරන්නේ ජනාධිපතිවරයා සිදුකළ මේ ක්‍රියාව අශෝභන මෙන්ම අයුක්ති සහගත එකක් ලෙසයි. එම නිසා මේ තත්වය අද විශාල ජනතා ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. අපි අතින් අඩුපාඩුකම් සිදුව ඇති බැව් අපි පිළිගන්නවා. අපි සිදුකළ මෙන්ම සිදු නොකළ දේවල් තිබෙනවා. අපි අතින් ඉටු නොවූ පොරොන්දු තිබෙනවා. නමුත් ජනතාව කියන්නේ ඉදිරි මැතිවරණයකදී මේ ආණ්ඩුව හොදද, නරකද කියලා තීරණය කරන්නේ ඔවුන් විසින් බවයි. එම තීරණය වෙනත් පාර්ශවයන් විසින් කළ නොහැකි බව රටේ බහුතර ජනතාවගේ මතයයි.
19 සංශෝධනයේ අස්වැන්න :
මේ නිසා අද අපි රටේ සිවිල් සංවිධාන ආගමික සංවිධාන ඇතුළු සියලූ සංවිධාන හා බලවේග ඒකරාශි කරගෙන මේ ගමන ඉදිරියට යායුතුව තිබෙනවා. අපි දැන් අධිකරණයට ගොස් තිබෙනවා. අධිකරණය තහනම් නියෝගයන් ලබාදී තිබෙනවා. ඇමතිවරුන් පත්කිරීම පිළිබඳව නියෝගයක් ලබාදී තිබෙනවා. ඒ අනුව රජයේ නිලධාරීන් අද නීතියට අනුව කටයුතු කළයුතුව තිබෙනවා. මේ සියල්ල 2015 දී අපි ඇතිකළ 19 සංශෝධනය නිසා ඇතිවූ ප්‍රතිඵලයි. ස්වාධීන කොමිසන් සභා සහ එමගින් අධිකරණය ශක්තිමත් කළ නිසා අත්වූ ප්‍රතිඵලයි.
නමුත් මේ සියලූ තීරණවලට විධායකය ඇහුම්කන් දෙන්නේ නැත්නම් අපි විශාල ජනබල මෙහෙයුමකට යාමට තීරණය කොට තිබෙනවා. එමගින් කොළඹදී අපි රටේ ජනතාවගේ විරෝධය ප්‍රකාශ කරනවා. මේක එක්සත් ජාතික පක්ෂයේ ජනබලයක් පමණක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂයේ විරෝධතා අපි දැනටමත් සිදු කොට තිබෙනවා. මෙය සියලූ රටවැසියන් හා පාක්ෂිකයන් එකතු වී සිදුකරන්නක් බව කිව යුතුයි. ඒ මෙහෙයුම පිළිබඳව මට පසුව අදහස් දක්වන අපේ පක්ෂයේ නිලධාරීන් ඔබව දැනුවත් කරනවා.
පසුගිය කාලයේ පැවති ඇතැම් විරෝධතා වලට දේශපාලකයින් සම්බන්ධ වුනේ නැහැ. එවැනි රැළියක් අපසුගියදා සංවිධානය කර තිබුණා. එහි දේශපාලඥයෙකුට හිටියේ මා පමණයි. එපමණක් නොවෙයි. නිදහස් චතුරශ්‍රය අසල විහාරමහා දේවී උද්‍යානය අසල දිනපතා සත්‍යග්‍රහ, රැස්වීම් පැවැත්වෙනවා. දේශපාලඥයින් කවුරුත් නැහැ. දැන් අපි සියලූ දෙනාම එකට එකව ජනබල මෙහෙයුම සාර්ථකව පැවැත්විය යුතුයි.
කුමන්ත්‍රණය පරදවන - ජනබල මෙහෙයුම සූදානම් :
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද හෝ හෙට ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වුනත්, එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම බදාදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා විය හැකි බව අපේ නීතිඥමහත්වරුන් දන්වා තිබෙනවා. එලෙස නඩු තීන්දුව ලබාදීමෙන් පසුව ජනබල මෙහෙයුම පවත්වන ලෙස සිවිල් සංවිධාන අපෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව එම මෙහෙයුම නඩු තීන්දුවෙන් පසුව ඊළඟ සතියේ පැවැත්වීමට අපි තීරණය කළා. එම නිසා මෙම ජනබල මෙහෙයුම ශක්තිමත්ව, සාර්ථකව පවත්වන්නට තවත් දින කීපයක් ඉදිරියට තිබෙන නිසා ඒ කාලය ඒ සඳහා යොදා ගෙන සංවිධාන කටයුතු සිදු කරන ලෙස සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේක ජනතාවගේ සටනක්. අපි ජනතාව කියන දේ කළ යුතුයි. මෙයින් පසුව අපි අපේ අඩුපාඩුකම් හදාගත යුතුයි. ජනතාව බලාපොරොත්තු වන්නේ කුමක්ද, කරදරයකින් තොරව ජීවත් විය හැකි පාලනයක්. ජනතාව බලාපොරොත්තු වන පාර්ලිමේන්තු සම්ප්‍රදාය කුමක්ද? මාධ්‍ය සම්ප්‍රදාය කුමක්ද? ඒ අරමුණ ඉටුකර දීමට අප සැමවිටම කැපවිය යුතුයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කර දීමට අප කැපවිය යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරි මෙහෙයුම් සාර්ථක කරගන්නට උත්සාහ කරමු. පසුගිය කාලය තුල අපේ මන්ත්‍රිවරු පාක්ෂිකයින් විශාල කැපකිරීමකින් යුතුව කටයුතු කොට තිබෙනවා. එසේ නොකළා නම් අද මේ සාර්ථකත්වය ඇතිවෙන්නේ නැහැ. එබැවින් ඔබගේ ප්‍රදේශවලට ගොස් සංවිධාන කටයුතු සිදුකර ජනබල මෙහෙයුම සාර්ථක කර ගැනීමට කැපවන ලෙස මා ඉල්ලා සිටිනවා.

