මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වැනිදා රටේ ජනාධිපති කර ඔහු අතට දුන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සදහන් කරන්නේ එම දෙපැත්ත කැපෙන කඩුව ජනපති මෛත්‍රී අතට දුන්නේ අල්ලස් දුෂණ පගාකාරයන් සියළු දෙනාට කොටා දමා විනාශ කිරීමට බවයි.
නමුත් අද වන විට කඩුවේ එක පැත්තක් මොට්ට වී ඇති බව තමන්ට දැනෙන්නේ යයිද කී මන්ත්‍රීවරයා ‘අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනව කරුණාකරල කොටන්න මහ රජතුමනි, කොටන්න’ යයිද කීවේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂ අපේෂක්‍කයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.
වීඩියෝ
බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසමේ වාර්තාව යටගහලා !
මන්ත්‍රීවරයා ඉහත ප්‍රකශය කරනු ලබුවේ, පසුගිය රජය සමයේ සිදු වූ බව කියන වංචා හා දූෂණ සෙවීම සඳහා පත්කරනු ලැබූ බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව යටගසා තිබීම සම්බන්ධයෙන් විරෝධය පළකරමිනි.
බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව මේවනවිට ජනාධිපතිවරයා වෙත බාරදී ඇතත් එය මෙතෙක් ප්‍රසිද්ධියට පත්කර නොමැත.
ඒ සම්බන්ධයෙන් අදාල බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.
අභියාචනාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම විනිසුරුවරුන් පස් දෙනෙකු ගෙන් සමන්විතවිය.
මෙම කොමිසම විසින් සිදුකල විමර්ශනයන්ට අනුව එක් චෝදනාවක් යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පවා නිර්දේශ කර ඇතැයි පැවසේ.
පැමිණිලි 17 ක් ගැන විමර්ශන වාර්තා ?
කොමිසම පිහිටුවීමෙන් අනතුරුව ඊට, පැමිණිලි 2000 කට අධික සංඛ්‍යාවක් ලැබුණු අතර ඉන් 400 ක් විමර්ශනය සඳහා තෝරාගනු ලැබිණි.
ඉන් පැමිණිලි 17 ක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර එහි වාර්තා ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.
ඒ අතර ඇවන්ගාඩ් ගනුදෙනුව, හම්බන්තොට වරාය වීවෘත කිරීමේ උත්සවයේදී සිදුවූ බව කියන වංචාව මෙන්ම,
ශ්‍රී ලංකා එයාර් ලයින් ආයතනයේ අක්‍රමිකතා හා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ දිස්ත්‍රික් මට්ටමින් සිදුකළ ජල ව්‍යාපෘතීවලදී ඇතිවූ අක්‍රමිකතා පිළබඳව එම කොමිසම විසින් විභාග කරනු ලැබිය.
ඒ අනුව, එම කොමිසමට ලැබුණු පැමිණිලි 120 ක් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම වෙත ජනාධිපති කාර්යාලය හරහා යොමු කර තිබේ.
ඒ, අදාළ ආයතන ද එම දූෂණ සිද්ධි සම්බන්ධයෙන් ඒ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබීම හේතුවෙනි.
මේ අතර මහා පරිමාණ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ පරීක්ෂණ අවසන් කර චෝදනා ගොනු කිරීම සඳහා වාර්තා 6 ක් නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.
නීතිපති ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේ, ඊට අදාළ චෝදනා ගොනු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ය.

