කළු මාධ්‍යවල ජඩ භාවිතය ගැන එජාපයෙන් නිවේදනයක්

කළු මාධ්‍යවල ජඩ භාවිතය ගැන එජාපයෙන් නිවේදනයක්

කළු මාධ්‍ය භාවිතයට එරෙහිව විරෝධය පෑ සිවිල් සංවිධාන 11 කට අයත් කලාකරුවන් මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාධරයන්ට සිරස ඇතුළු පාහර ජඩමාධ්‍ය ආයතන විසින් අවලාද නැගීමට විරෝධය පා එක්සත් ජාතික පක්ෂය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එය මෙසේය.

සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් විසින් පසුගිය 10 වනදා මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වමින්, සංදේශ භාර දීම පිළිබඳව අප පක්‍ෂයේ බලවත් සැලකිල්ල යොමු වී ඇත.

මෙම විරෝධතාවන් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙයවන එන්ජීඕ නඩයක් විසින් කළ බවට යම් යම් මාධ්‍යයන් ගෙන යන ප්‍රචාරයන් සම්බන්ධව ද අපගේ අවධානය යොමු වී ඇත.

මේ විරෝධතාව සඳහා අප පක්‍ෂයේ කිසිදු සම්බන්ධතාවක් නොමැත. අප සොයා බලා දැන හඳුනාගත් ආකාරයට මේ විරෝධතාව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍යය ආරක්‍ෂා කරලීම වෙනුවෙන් ඔක්තෝබර 26 වන දා සිට සටන් වැදි සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවකගේ සංවිධානත්වයෙන් සිදු වූවකි.

එක්සත් ජාතික පක්‍ෂය සැමවිට ම මාධ්‍ය නිදහස ගරු කරන හා ආරක්‍ෂා කරන පක්‍ෂයකි. මෙරට මාධ්‍ය ආයතනයන් වෙත බෝම්බ ප්‍රහාර හා ප්‍රචණ්ඩත්වය එල්ල වූ අවස්ථාවන්හිදීත්, මාධ්‍යවේදීන් ඝාතනයට හා තර්ජනයට ලක්වූ අවස්ථාවන්හිදීත් අප පක්‍ෂය මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටි අයුරු යළි සිහිපත් කළ යුතු නොවේ.

මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින අයුරින් ම අපි ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ද පෙනී සිටිමු. රටේ පවත්නා නීතියට අනුකූලව සාමකාමීව විරෝධතා පැවැත්වීමේ අයිතිය ඕනෑම පුරවැසියෙකු සතුය. ශිෂ්ට සම්පන්න හා ශීලාචාර අයුරින් පවත්වන විරෝධතාවයකට සිය මාධ්‍ය බලය උපයෝගී කරගනිමින්, පහර එල්ල කරන්නට හා පලවා හරින්නට ක්‍රියා කරන මාධ්‍ය ආයතන මගින් ප්‍රදර්ශනය වන්නේ කළු මාධ්‍ය මාෆියාවේ සැබෑ ස්වරූපය මිස අන් කිසිවක් නොවේ.

තවත් අවාසනාවන්ත කරුණක් වන්නේ මෙකී මාධ්‍ය ආයතන විසින්, නීතිරීතිවලට යටත්ව, සාමකාමී හා ශීලාචාර ලෙස විරෝධය පාන කොටස් එන්ජීඕ කාරයන් හා ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් ලෙස හංවඩු ගැසීමයි. රට ගිනි තියමින්, නීති බිදිමින්, ප්‍රචණ්ඩත්වය වපුරමින් විරෝධතා සිදු කරන කොටස් දේශප්‍රේමීන් ලෙස ඔටුනු පැළඳීමයි.

මහත්මා ගතිගුණ ප්‍රදර්ශනය කරමින්, විරෝධතාකරුවන්ගේ සංදේශ භාර ගැනීමට ක්‍රියා කළ මාධ්‍ය ආයතන වෙත අප පක්‍ෂයේ ප්‍රසාදය හිමි වන අතර, එසේ නොකොට තම ඒකාධිපතිත්වය ප්‍රදර්ශනය කළ කළු මාධ්‍යයන් වෙත අපගේ විරෝධය හා පිළිකුල මෙයින් පළ කර සිටිමු.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න