Language Switcher

V2025

පක්ෂය ගොඩදාන්න : චන්ද්‍රිකා සංවිධායකවරුන්ගේ මතය සිරිසේනට දන්වයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රටේ බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂ සහ කණ්ඩායම් සමග එක්වීමට කිසිසේත් අනුමත නොකරන බව 

ජනාධිපතිනි, ශ්‍රිලනිප අනුශාෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ජනාධිපති සිරිසේන වෙත දැනුම්දී ඇත.

2019 ජනවාරි 11වනදා යොමුකර ඇති ලිපියක් හරහා හිටපු ජනාධිපතිනිය මෙම දැනුම්දීම සිදුකර ඇති අතර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදමා වෙනත් පක්ෂ වලට සම්බන්ධ නොවී පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යාමට අධිෂ්ඨානයෙන් කටයුතු කරන ලෙසද එමගින් වැඩිදුරටත් දන්වා ඇත.

හිටපු ජනාධිපතිනිය විසින් මෙම ලිපිය යොමුකර ඇත්තේ ශ්‍රිලනිප ප්‍රධාන සංව්ධායකවරුන්ගේ අදහස් අනුව සංවිධායකවරුන් කිහිපදෙනකුගේ මූලිකත්වයෙන් "පක්ෂයේ අනාගතය" සම්බන්ධ යෝජනාවක් ජනාධිපති සිරිසේන වෙත දැනුම්දෙමින්‍ ය.

පක්ෂය රැකගන්න සංවිධායකයන් මැදිහත් වෙයි !

හිටපු ජනාධිපතිනියගේ ලිපිය හරහා ජනාධිපති සිරිසේන වෙත යොමුකර ඇති " පක්ෂ අනාගතය රැකගැනීම" වෙනුවෙන් වන ලියවිල්ල සෘජුවම ජනාධිපති සිරිසේන වෙත ආමන්ත්‍රණය කර ඇති අතර පක්ෂ සංවිධායකවරුන් 10කු ඊට අත්සන් තබා තිබේ.

ප්‍රධාන යෝජනා 5ක්

ඊට අනුව පක්ෂ ඉතිහාසයේ බරපතලම අර්බුදය වෙත මේ වන විට පක්ෂය මුහුණදී ඇති අතර පක්ෂය එම අර්බුදයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් යෝජනා 5ක් ජනාධිපති සිරිසේනගේ අවධානයට යොමුකර ඇත.

එනම්,

1. අප පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට නායකත්වය ගන්නා අතරම එයට ප්‍රමුඛත්වය ලබාදීම,

2. ජාතිවාදී කණ්ඩායම් සමග සන්ධාන ගතවීම තුළින් පක්ෂයට සිදුවිය හැකි හානිය පිළිබඳව බැරෑරුම්ව අවධානය යොමු කිරීම,

3. බැදුම්කර සිද්ධියේදී ජනාධිපති ගනුලැබූ පියවර ඉහළින් අගය කරන අතර අල්ලසට හා දූෂණයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග වඩවඩාත් ශක්තිමත් කිරීම.

4. එක්සත් ජාතික පක්ෂය සමග එකතුවීමට පක්ෂයේ සමහරු දරණ ප්‍රයත්නයට කිසිසේත් එකග නොවන අතර,
එමෙන්ම 2015 ජනවාරි 08 වනදා මෙරට පොදු ජනතාව විසින් බලයෙන් ඉවත් කල කණ්ඩායම පක්ෂය දෙකඩ කර පක්ෂයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත ලෙස කටයුතු කරමින් සිටියි.ඔවුන් සමග ද සන්ධාන ගතවීමට ද එකගවිය නොහැකිය.

5. නවීන ලෝකය සමග ඉදිරියට ගමන් කරන රටක් බවට දේශය පත්කරලීම සදහා නව සමාජ ආර්ථික වැඩ පිළිවෙළක් මත පදනම් වූ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවට ශ්‍රිලනිප ය පත්කරලීමට නායකත්වය ගැනීම.

මෙම යෝජනා ජනාධිපති සිරිසේන වෙත යොමුකරමින් පක්ෂ සංවිධායකවරුන් ඉල්ලා ඇත්තේ මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ද තමන්ට අවස්ථාවක් ලබාදෙන ලෙසය.

චන්ද්‍රිකාගේ දැඩි ස්ථාවරය

කෙසේ වෙතත් මේ යෝජනා ජනාධිපති සිරිසේන වෙත යොමුකළ හිටපු ජනාධිපතිනියගේ ලිපියේ, 2015 දී බලය ලබාදීමට ඉදිරිපත් කරන ලද දර්ශනයට සහ වැඩපිළිවෙළට ද්‍රෝහී නොවන ලෙස දැඩිව අවධාරණය කර ඇති අතර රාජපක්ෂ රෙජීමයට අදාල විරෝධයද පැහැදිලිව දක්වා ඇත.

පහත දැක්වෙන්නේ හිටපු ජනාධිපතිනිය විසින් ජනාධිපති සිරිසේන වෙත යොමුකළ ලිපිය සහ සංවිධායකවරුන් යොමුකර ඇති යෝජනා ඇතුලත් ලිපියයි.