හොර පාරේ ගිහින් අමාරුවේ වැටෙන්න එපා - මනුෂ

හොර පාරේ ගිහින් අමාරුවේ වැටෙන්න එපා - මනුෂ

නීති විරෝධී ලෙස විදේශ රැකියා සදහා පිටත්ව ගොස් දැන දැනම අමාරුවේ නොවැටීමට ශ්‍රමිකයින් වගබලාගත යුතු බවත්, නොයෙක් කරදරවලට මුහුණදුන් බවට මාධ්‍ය ඔස්සේ හඩ නගන්නේ මෙසේ නීති විරෝධී ආකාරයට විදේශ ගතවූ පිරිස් බවද ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසීය.

විගමණික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය සෑම අවස්ථාවකදීම පියවර ගන්නා බවද ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සදහා 2019.01.19 දිනගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය. මෙහිදී දකුණු පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 383 දෙනෙකු සදහා කාර්යාංශය මගින් රු. 9,495,000.00 ක ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

විගමණික ශ්‍රමිකයින් පසුගිය වසරේදී ඩොලර් බිලියන අටක මුදලක් රටට එවලා තියෙනවා. ඒක විශාල මුදලක්. දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න වැය කළ මුදල වගේ තුන්ගුණයක මුදලක් ලංකාවට එවලා තියෙනවා. විගමණික ශ්‍රමිකයින් තමන්ගේ දරුවන් සමග සිටිය යුතු කාලයේදී තමයි පිට රටකට ගිහිල්ලා රටට මුදල් උපයන්නේ. මේ අයට කෙළෙහිගුණ සලකන්න තමයි විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙන්නේ. අපි මේ වසරේදී රුපියල් කෝටි අටක මුදලක් ශිෂ්‍යත්ව ප්‍රදානය සදහා වෙන් කර තිබෙනවා.

අද ශිෂ්‍යත්ව ලබන දරුවන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට සුභ පැතුම් ගෙන එන්න කියලා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේම හරින් ප්‍රනාන්දු ඇමතිතුමාත් මට දැනුම් දුන්නා. දරුවන් වෙනුවෙන් කරන දේ ගැන අගමැතිතුමාත් ආශිර්වාද කළා. අද ශිෂ්‍යත්ව ලබන දරුවන් රටට ආදරය කරන දරුවන්, රටට වැඩදායී පුරවැසියෙක් වෙන්න කියන ඉල්ලීම තමයි අපි ඉල්ලන්නේ. හොදට හිතන්න පුලුවන්, හොදට කල්පනා කරන්න හැකි දරුවන් පිරිසක් බිහි කිරීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ.

ඉතිහාසයේ කරපු වැරදි යළිත් එපා !

රටේ අවුරුදු තිහක් යුද්ධයක් තිබුණේ අපේ රටේ ඉතිහාසයේ කළ වැරදි නිසා. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරලා, ජාතිකත්වය පිළිබද ගැටලුවක් ඇති කළා. සුද්දෝ අපේ රටට නිදහස දීලා යනකොට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහයෝගයෙන් ජීවත් වුනා. ඒත් දේශපාලඥයින් මේ රට පාලනය කරන්න ගත්තාම ජාති වශයෙන් ජනතාව බෙදුවා. සිංහල ඡන්ද ගන්න ඕන වුනාම සිංහල ජාතිවාදය ඇවිස්සුවා. දෙමළ ඡන්ද ලබාගැනීමට අවශ්‍ය වුනාම දෙමළ ජාතිවාදය ඇවිස්සුවා. මේක තමයි යතාර්ථය. මුස්ලිම් අන්තවාදයක් වෙනම ඇතිකළා. සියලුම ආගම්වල කියලා තිබෙන පරිදි සමානාත්මතාවයෙන් කටයුතු කළොත් දේශපාලඥයින්ට අවශ්‍ය ආකාරයට ජනතාව බෙදන්න බැහැ. නැවත යුද්ධයකට රට ඇදගෙන යාමට ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නෑ. ඇතැම් අය සිංහල බෞද්ධකම පෙන්නලා සමහර ප්‍රශ්න නිර්මාණය කරන්න හදනවා. සමහරු දෙමළකම පෙන්නලා ප්‍රශ්න ඇතිකරන්න හදනවා. මේවා කරන්න හදන්නේ ඡන්ද ලබාගැනීම වෙනුවෙන්. සිංහල ඡන්ද සියයට හැටක් අරගෙන ජනාධිපති පුටුවට යන්නේ කොහොමද කියලා තමයි සමහරු කල්පනා කරන්නේ. මේ රට නැවත වරක් යුද්ධයකට ඇදගෙන ගියොත් සංහිදියාව නැතිවී යනවා. අද තියෙන සාමකාමී තත්වය නැතිවෙනවා. නිදහස නැතිවෙනවා. අද ඕනෑම අයෙක්ට රටේ නායකයින් විවේචනය කරන්න පුලුවන්කම ලැබී තිබෙනවා. නැවත වරක් ගැටුම්වලට ගියොත් මේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස අහිමි වෙනවා.

පහුගිය කාලයේදී අපි ශ්‍රී ලංකාවේ කියලා කියන්න ටිකක් ලැජ්ජාවෙන තත්වයක් තිබුණේ. මොකද මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක් විදියට තමයි අපේ රට හංවඩු ගැහිලා තිබුණේ. හැබැයි අද නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටක් ලෙස ලෝකය පිළිගන්නවා. මේ පිළිගැනීම වටින්නේ දේශපාලඥයින් වන අපිට නොවෙයි. මේක වටින්නේ හෙට දවස භාරගන්න දරුවන්ටයි. ඒ නිසා මේ රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා කියන සිතුවිල්ල මේ දරුවන් ඇතිකරගත යුතුයි.

විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් : ආණ්ඩුව හැකි සෑම දෙයක්ම කරනවා !

අපි ආණ්ඩුවක් විදියට විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් අපේ කෙලෙහිගුණ සලකනවා. තමන්ගේ අම්මට තාත්තට, වැඩිහිටියන්ට සලකන්නේ නැතිනම් ඒ අයගෙන් කිසිම වැඩක් නැහැ. තමන් උපන් රටට, තමන් උපන් ප්‍රදේශයට සේවයක් කරන්නේ නැති නම් ඒ අය කවුරු වුනත් කිසිම වැඩක් නෑ. මුල අමතක කරනවා නම් රටේ ජනාධිපති වුනත් වැඩක් නෑ. කෙළෙහිගුණ අමතක කරනවා නම් රටේ ජනාධිපතිවුනත් වැඩක් නෑ. කෙළෙහිගුණ මතක තියෙන ජාතියක්, පුරවැසියන් බවට අපේ දරුවන් පත් කළ යුතුයි.

විදේශගත ශ්‍රමිකයින්ගේ ගැටලු ගැන විවිධ අවස්ථාවලදී තොරතුරු වාර්තා වෙනවා. විදේශගතව සිටින ශ්‍රමිකයින්ට මොනවා හරි කරදරයක් වෙනවා නම් අපි ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. හරි පාරෙන් විදේශගත වුනොත් ගැටලුවලට මුහුණදෙන්න වෙන්නේ නෑ. නීති විරෝධී ලෙස විදේශ ගතවෙලා ඉන්න ශ්‍රමිකයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපිට අපහසුයි. අද නොයෙක් ගැටලුවලට මුහුණදීමට සිදුවෙලා තියෙන්නේ නීති විරෝධී ආකාරයට විදේශගතවූ අයටයි. නීත්‍යානුකූල නොවන ආකාරයට රැදී සිටින සමහර අය ගෙන්වාගැනීමට නොහැකිවී තිබෙන්නේ ඔවුන්ට නඩු කටයුතුවලට මුහුණදීමට සිදුව තිබෙන නිසයි. ඒත් හරින් ප්‍රනාන්දු ඇමැතිතුමා මේ හැම රටකටම ගිහින් ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒත් උවමනාවෙන් කරදරයේ වැටෙන්න එපා කියන පණිවුඩය ලබාදෙන්න ඕන.

මෙම අවස්ථාට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා, අතිරේක සාමාන්‍යාධිකාරී කිෂෝලි පෙරේරා මහත්මිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත වීරසේකර මහතා, ගාල්ල ලංකා බැංකුවේ කළමනාකරු ඇතුළු පිරිසක් එක්විය.

 40A6125

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න