Language Switcher

V2025

මහින්දගේ තවත් කෙරුවාවක් හෙළිවේ : මෙවර මිලියන 122ක ගුවන් පොල්ලක් !

ජනාධිපති ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් වර්ෂ 2009 සිට වර්ෂ 2014 දෙසැම්බර් දක්වා රාජ්‍ය නායකයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් සඳහා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමෙන් වෙන් කරගෙන ගිය ගුවන් යානා වෙනුවෙන් රුපියල් මිලියන 122.3 ක් තවමත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට ගෙවීමට ඇතැයි ඊයේ (21 දා ) ශ‍්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි විභාගයේදී අනාවරණය විය.

මෙම හිඟ මුදල් මේ වනතෙක් ශ‍්‍රීලංකන් ගුවන් සමාගමට පියවා නැති බව ද මේ මුදල් ගෙවන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට දන්වා ඇති බවද ඊයේ කොමිසම හමුවේ සාක්ෂි දුන් ශ‍්‍රීලංකන් ගුවන් සමාගමේ ආදායම් කළමනාකරණ සහ සැලසුම් අංශ ප‍්‍රධානී සුමුදු උපතිස්ස මහතා ප‍්‍රකාශ කළේය.

මේ කාලය තුළ හිටපු රාජ්‍ය නායකයාගේ ගුවන් ගමන් 65ක් පමණ මෙලෙස ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමෙන් වෙන් කරගෙන ගිය ගුවන් යානා මගින් සිදු කළ බවද ඉන් ගුවන් ගමන් කිහිපයක් වෙනුවෙන් මේ රුපියල් මිලියන 122.3 ක් තවමත් හිඟව පවතින බවද සාක්ෂිකරු කීවේය. රාජ්‍ය නායකයාගේ අනෙක් ගුවන් ගමන් වෙනුවෙන් මුදල් ගෙවා ඇති බවත් මේ රුපියල් මිලියන 122.3 ක් නොගෙවා හිඟව පවතින මුදල පමණක් බවත් ඔහු කොමිසම අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

2009 සිට 2014 අග දක්වා රාජ්‍ය නායකයා වෙනුවෙන් ශ‍්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා වෙනම වෙන් කරගෙන යාම බහුලව සිදු වුවත් 2015 වසරෙන් පසු මේ දක්වා වත්මන් රාජ්‍ය නායකයාගේ ගුවන් ගමන් වෙනුවෙන් තමා දන්නා තරමින් එසේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා වෙන් කරගෙන ගොස් නැති බවද ඔහු කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා දන්නා තරමින් ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ සාමාන්‍ය සැලසුම් කළ ගුවන් යානාවලින් තම ගුවන් ගමන් සිදුකළ බවද ඔහු සඳහන් කළේය.

මීට පෙර කොමිසම හමුවේ අනාවරණය වූ පරිදි ශ‍්‍රීලංකන් ගුවන් සමාගම පියාසර නොකරන ජොහැන්නස්බර්ග්, ටෙල්අවිව්, රෝමය සහ බොලීවියාව වැනි ගමනාන්ත වෙත පවා හිටපු රාජ්‍ය නායකයා වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ගුවන් යානා වෙන්කරගෙන තිබිණි. මින් ජොහැන්නස්බර්ග් වෙත 2013 වසරේදී වෙන්කරගෙන ගිය ශ‍්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් කළේ මගීන් 26 දෙනකු පමණක් බවත් එහෙත් එම ගුවන් යානයේ ආසන 243 ක් පැවති බවත් කොමිසම හමුවේ මීට පෙර අනාවරණය විය. එම ගුවන් ගමන වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට රු. මිලියන 36 ක මුදලක් ගෙවා තිබිණි.

එසේම වර්ෂ 2014 දී ඊශ‍්‍රායාලයේ ටෙල් අවිව් වෙත ගිය ගුවන් ගමන වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට රු. මිලියන 46.3 ක් ගෙවූ බවත් 312 දෙනකු ගමන් කළ හැකි එම ගුවන් යානයේ ගමන් කළේ 48 දෙනකු පමණක් බවත් කොමිසම හමුවේ අනාවරණය විය. එම ගුවන් යානය මුලින්ම ජෝර්දානයේ අගනුවර වන අම්මාන්හිි නවත්වා මගීන් 42 දෙනකු ඉන් බැස ගිය බවත් අවසානයේ ඊශ‍්‍රායාලයේ ටෙල් අවිව් වෙත ගමන් කළේ මගීන් හයදෙනකු පමණක් බවත් කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.

කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරීන් ගමන් කරන්නේ වෙන්කරවාගත් ගුවන් යානාවලින් දැයි විමසූ අතර ඊට සාක්ෂිකාර ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ආදායම් කළමනාකරණ සහ සැලසුම් අංශ ප‍්‍රධානී සුමුදු උපතිස්ස මහතා පැවසුවේ එසේ නොවන බවයි. මේවා රාජ්‍ය නායකයා වෙනුවෙන් වෙන් කරගෙන ගිය ඒවා බවද ඔහු කීවේය. සාමාන්‍යයෙන් හ`ිග මුදල් වෙනුවෙන් සියයට දෙකක පොලියක් අය කරන නමුත් මේ නොගෙවන ලද මිලියන 122 වෙනුවෙන් එසේ පොලී ගණන් බලා නැති බවද සාක්ෂිකරු කීවේය.

මෙහිදී රජයේ නීතිඥවරයා අසන ඇතැම් ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට තමාට හැකියාවක් නැති බවද ඒ ගැන සමාගමේ මුල්‍ය අංශයෙන් විමසිය යුතුව ඇති බවද සාක්ෂිකරු කීවේය.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් වර්ෂ 2009 සිට වර්ෂ 2014 දෙසැම්බර් දක්වා රාජ්‍ය නායකයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් සඳහා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමෙන් වෙන් කරගෙන ගිය ගුවන් යානා වෙනුවෙන් හිඟව ඇති රුපියල් මිලියන 122.3 අයකර ගැනීම සඳහා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම විසින් අදාළ ආයතන වෙත කරන ලද ලිඛිත දැනුම්දීම කොමිසමට ඉදිරිපත් කරන ලෙසද කොමිසම සාක්ෂිකරුට දැනුම් දුන්නේය. ඒ සඳහා සාක්ෂිකරු වෙනත් දිනයක නැවත කොමිසම හමුවට පැමිණීමට නියමිතය.

කොමිසම ඊයේ (21 දා) උදේ 10.00ට පමණ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ඇතුළු කොමිසමේ සෙසු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් රැස්විය.

(දිවයින)