මරණ දඬුවම අනිවාර්යයි : මාත් යුද්ධයට නායකත්වය දෙන්න සූදානම් - සිරිසේන

මරණ දඬුවම අනිවාර්යයි : මාත් යුද්ධයට නායකත්වය දෙන්න සූදානම් - සිරිසේන

වසර 30ක යුද්ධය හා සමාන යුද්ධයක් ම්ලේච්ඡ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීම සඳහා සිදුකළ යුතුව ඇති බව ජනාධිපති සිරිසේන පවසයි.

එදා දැක්වූ කුසලතාවයන්, දක්ෂතාවයන්, එඩිතරබව සහ වීරත්වය මෙම ශ්‍රේෂ්ඨ මානව කාර්ය වෙනුවෙන් ද ඉටුකිරීමට පෙරට එන ලෙස ති‍්‍රවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක බලකා සියලූ සාමාජිකයන්ට ආරාධනා කළ ජනාධිපතිතුමා ඊට නායකත්වය ලබාදීමට තමා සූදානම් බව ද කියා සිටියේය.

ජනාධිපති සිරිසේන මේ බව ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීම වෙනුවෙන් ඊයේ (28) කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති ,ජනපති ප‍්‍රශංසා, ඇගැයීම් උලෙළ අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ විවිධ නීති විරෝධි කටයුතුවල නිරතව සිටින පිරිස් විසින්, පොලිස් ස්ථානාධිපතිවරුන්ව මාරු කර යැවූ යුගය තමා අවසන් කරන බවයි.

පොලිස් නිලධාරින්ට ස්ථාන මාරුවීම් ලබාදීමේ දී වාර්ෂික ස්ථානමාරුවීම්, ප‍්‍රතිපත්තිමය ස්ථාන මාරුවීම් ක‍්‍රමවේදයන්ට අනුව මෙන්ම ඉන් බාහිරව සිදු කෙරෙන්නා වූ ස්ථානමාරුවීම්වල දී ද එම ස්ථාන මාරුවට හේතුව ස්ථාන මාරුවීම් ලිපියේ ම සඳහන් කළයුතුය යන නියෝගය තමා විසින් ලබා දෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

එසේ සිදු කරනුයේ සියලූ පොලිස් නිලධාරින්ට මාතෘභූමිය වෙනුවෙන් අවංක සේවයක් ඉටුකිරීමට බව පැවසූ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා ලෙස මෙන්ම පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස ද තමා සෑම අවස්ථාවකම අවංකව රාජකාරී ඉටු කරන නිලධාරින් ආරක්ෂා කරන බව කියා සිටියේ ය.

දූෂිතයන්ගේ සහ ජාවාරම්කරුවන්ගේ අනුදැනුම මත කිසියම් පොලිස් නිලධාරියෙකු ස්ථාන මාරුවීමකට ලක්වුවහොත් හා යම් පෞද්ගලික අභියෝගයකට හෝ කරදරයකට ලක් වුවහොත් ඒ පිළිබඳ තමා වෙත පෞද්ගලිකව දැනුම්දීමට අවශ්‍ය ක‍්‍රමවේදය සකස් කරමින් විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය මර්දනය ජාතික අවශ්‍යතාවයක් සේ සලකමින් ඒ සඳහා ලබාදිය යුතු ඉහළම ප‍්‍රමුඛත්වය ලබාදෙන බවත්, ඒ පිළිබඳ නීතිය කි‍්‍රයාත්මක කිරීමේ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතු ම බවයි.

රජයක් ලෙස ඒ පිළිබඳව කටයුතු කිරීමේ දී මානව හිමිකම් පෙන්වමින් එම අපරාධකරුවන් ආරක්ෂා කිරීමට ඇතැමුන් කටයුතු කරන බව පැවසු ජනාධිපතිතුමා, එය ඔවුන් සමස්ත ජාතියේම අනාගතය වෙනුවෙන් කරන ද්‍රෝහිකමක් බව ද කියා සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න