රේගු අධ්යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කොට රේගු අධ්යක්ෂ ජනරාල් ධුරයට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු පත්කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවට විරෝධය පළකරමින්, ශ්‍රී ලංකා රේගුවේ වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති අරගලයට සහය දැක්වූ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය එම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත්විය.
ඒ, රේගු අධ්යක්ෂ ජනරාල් ලෙස රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ මහතා ව වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කිරීමට මුදල් හා මාධ්‍ය අමාත්‍යවරයා එකඟත්වය පලකිරිමට ප්‍රතිචාර දක්වමිනි.
අපේ ඉල්ලීමට මුදල් අමාත්‍යාංශයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණා - ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති
මේ සම්බන්ධව අප වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මෙසේ පැවසීය.
"ව්‍යවස්ථානුකුලව විශ්‍රාමික හමුදා නිලධාරියෙකු ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කිරීම වලංගු නෑ. එම තනතුරට පත්විය යුතුව ඇත්තේ ශ්‍රී ලංකා පරිපාලන විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක්. ඒ අනුව තමයි අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දැක්වූයේ. අපි මේ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සිදුවිය හැකි වරද පෙන්වා දීමට ජනාධිපතිවරයා වෙතින් මෙන්ම මුදල් අමාත්‍යවරයා වෙතින්ද සාකච්ඡාවක් ඉල්ලා සිටියා.
ඒ අනුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අපට අවස්ථාව ලබා දුන්නා. අපි ඔහුට පෙන්වා දුන්නා නිවැරදි විය යුත්තේ මොකක්ද කියලා. කිසියම් නිලධාරියෙක්ගේ අඩුපාඩුවක් ඇත්නම් ඒ තැනට වෙනත් නිලධාරියෙකු පත්කිරීමට අපේ විරුද්ධත්වයක් නෑ. නමුත් ඔහු ඒ තනතුර දැරීමට සුදුසු විය යුතුයි. ඒ අනුව අපේ ඉල්ලීම වුණේ පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු පත්කරන ලෙසයි.
ඒ ඉල්ලීම අමාත්‍යංශය පිළිගත්තා. ඒ අනුව තමයි තාවකාලික පත්වීම සිදුකර තිබෙන්නේ. නමුත් වැදගත් දෙයක් කිව යුතුව තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා රේගුව කියන්නේ රාජ්‍ය ආදායමින් ඇති විශාල ප්‍රතිශතයක් ලබාදෙන ආයතනයක්. මෙයින් තීරු බදු එකතු කිරීම ප්‍රධානයි. එවැනි ආයතනයකට තාවකාලික පත්කිරීමක් සිදුකර දිගු කලක් පැවතීම නුසුදුසුයි. ඒ නිසා ඉක්මනින් ඒ සඳහා ස්ථිර අධ්‍යක්ෂ ජනරාල් වරයෙක් පත්කල යුතුයි. අපි එහිදීත් අවධානයෙන් ඉන්නේ, අදාළ තනතුරට සුදුසුකම් ඇත්තකු පත්වෙයිද යන්න සම්බන්ධව.
මේ අතර වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනුව රේගු අධ්යක්ෂ ජනරාල් චාර්ල්ස් මහත්මිය එම තනතුරට පත් කොට තවමත් ගත වී ඇත්තේ අවුරුද්දයි මාස දෙකක් වැනි කෙටි කාලයක් වුවද ඇය යම් සැලසුමකින් යුතුව වැඩ කළ බවද ඉන් ඇතැම් පිරිස්වලට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වූ බවත් රේගු වෘත්තීය සමිති නිලධාරීන් ඊයේ (31) මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා හමුවී පවසා ඇත.
එහිදී කරුණු දැක්වූ අමාත්‍යංශ ලේකම්වරයා, රේගු ආදායම පසුගිය මාස කිහිපයෙහි බරපතල ලෙස කඩාවැටීමත්, පසුගිය වසර කිහිපය තුල දී ශ්‍රී ලංකාව තුල මත්ද්‍රව්‍ය ජාවාරමේ සිදුව ඇති බරපතල වර්ධනය කෙරෙහි ශ්‍රී ලංකා රේගුවේ නොසැලකිල්ල හා අකාර්යක්ෂමතාවය බලපෑ ඇතැයි එල්ලවී ඇති චෝදනාත් සැලකිල්ලට ගෙන රේගු අධ්යක්ෂ ජනරාල් චාර්ල්ස් මහත්මිය ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ප්‍රකාශ කර තිබේ.
කෙසේවුවද වෘත්තීය සමිති ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නාවික හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු රේගු අධ්යක්ෂ ජනරාල් ලෙස පත් කිරීමට පසුගිය කැබිනට් මණ්ඩලයේදී ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමටත්, රේගුවේ නව වැඩබලන අධ්‍යක්ෂක ජනරාල් ලෙස මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ මහතා ව වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කිරීමට මුදල් හා මාධ්‍ය අමාත්‍යවරයා එකඟත්වය පළකර ඇතයි ලේකම්වරයා එහිදී ප්‍රකාශකර ඇත.

