ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම වෙනුවෙන් පැවති තීරණාත්මක සාකච්ඡාවක් එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් වර්ජනය කිරීම හේතුවෙන් අත්හැර දැමීමට සිදුව ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අදාළ සාකච්ඡාව ඊයේ (07) ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ පැවැත්වීමට නියමිතව තිබී ඇති අතර ඒ වෙනුවෙන් දිනය යෝජනා වී ඇත්තේ මීට දින 10 කට පමණ පෙරය.
එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති සිරිසේනගේ නම යෝජනා කිරීමත් සමඟය. ඒ අනුව පොදුජන පෙරමුණ නායකයන් යෝජනා කර ඇත්තේ තම පක්ෂය විසින්ද ජනාධිපති අපේක්ෂකයකු නම් කල යුතුව ඇති බවය. ඒ අනුව පොදුජන පෙරමුණට සම්බන්ධව සිටින පක්ෂ නායකයන් රැස්ව ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න සඳහා අදහස් හා යෝජනා ගැනීමටත් පසුව ඒ සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමත් මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ මන්ත්‍රී උදය ගම්මන්පිලගේ යෝජනා ස්ථිරත්වයෙන් ගෝඨාභය රාජපක්ෂගේ නම ඉදිරිපත් කිරීමට නියමිතව තිබු බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේම ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තවත් නම් කිහිපයක්ද යෝජනා කිරීමට එම පක්ෂයේ පාර්ශව කිහිපයක් සූදානමින් සිටි බවත් අදාළ නම් අතරින් අවසන් තීරණය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් අනුමත කිරීමට නියමිතවූ බවත් වාර්තා වෙයි.
ඒ වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද ඊයේ සාකච්ඡාවට සහභාගීවීම සඳහා ජී.එල්. පීරිස් මහතාගේ නිවසට පැමිණ සිටි බවද වාර්තා වන අතර නමුත් බැසිල් රාජපක්ෂ නොපැමිණීම හේතුවෙන් සාකච්ඡාව දින නිමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇති බවද වාර්තා වෙයි.

