මාකඳුරේ මධුෂ් : ඩුබායිහිදී අවංක වෙලා !

මාකඳුරේ මධුෂ් : ඩුබායිහිදී අවංක වෙලා !

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්‍රමසිංහ යන නමින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි පැවැසීය.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මිනුවන්ගොඩ ඊයේ (07) පැවති උත්සවයක් අමතමින්ය.

අත්අඩංගුවට පත් 31ක් අධිකරණයට ඉදරිපත් කර ඇති බවත් එහිදී මාකඳුරේ මධූෂ් අජිත් අවංක වික්‍රමසිංහ නමින් පෙනී සිට ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

මධුෂ් ඇතුළු පිරිසේ රුධිර සාම්පල විමර්ශන ඇරඹේ !

මේ අතර ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින මාකඳුරේ මධුෂ් හා ගායක අමල් පෙරේරා ඇතුළු 31 දෙනාගේ රුධිර පරීක්ෂණ කටයුතු ඊයේ දිනය වනවිට නිමා වී ඇතැයි ඩුබායි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින 31 දෙනා අතරින් මත්ද්‍රව්‍ය භාවිත කර සිටින පිරිස් හඳුනාගැනීමට මෙම රුධිර පරීක්ෂණ සිදු කර තිබේ.

අදාළ රුධිර වාර්තාවලට අනුව ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙනවාද? නැද්ද? යන්න හා මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙනවා නම් ඒ කොපමණ ප්‍රමාණයක්ද? යන්න හඳුනාගැනීම මෙම පරීක්ෂණවල අරමුණ වන අතර, මේ වනවිට ඩුබායි පොලීසිය අදාළ තොරතුරු විශ්ලේෂණය කරමින් පවතින බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් මෙම පිරිස අතර සිටින පුද්ගලයන් කීපදෙනෙකුම සැලකිය යුතු ප්‍රමාණවලින් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට ඩුබායි පොලීසිය සැක කරයි.

ඩුබායි රාජ්‍යයේ නීතිය අනුව දඬුවම්වල ස්වභාවය තීරණය වනුයේ මත්ද්‍රව්‍ය භාවිත කළ ප්‍රමාණ සහ ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණ මත බව ආරක්ෂක අංශ සඳහන් කරයි.උපන්දින සාදයේ සිටි පිරිස අතරින් මූලිකවම අත්අඩංගුවට ගත් පිරිස හතළිහක් බව මේ වනවිට තහවුරු වී ඇති අතර, එම පිරිසෙන් පිරිමි හතර දෙනෙකු සහ කාන්තාවන් පස්දෙනෙකු ඩුබායි පොලීසිය විසින් මේ වනවිට නිදහස් කර තිබේ.

අදාළ වැටලීම සිදුවන අවස්ථාවේදී අංගොඩ ලොක්කා නමින් හඳුන්න තැනැත්තා හා මධුෂ්ගේ බිරිඳ ලෙස සැලකෙන මියගිය කළු තුෂාරගේ බිරිඳ පැනගොස් ඇතැයිද වාර්තා වේ. ඇය පැනයන අවස්ථාවේ අවුරුද්දක් වයසැති දරුවාද සිට ඇති බවද පැවසේ. කෙසේ වෙතත් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමටද ඩුබායි පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මෙම සිදුවීම පිළිබඳ ඩුබායි පොලීසිය හෝ ඩුබායි රජය මෙරට ආරක්ෂක අංශවලට හෝ රජයට නිල වශයෙන් මෙතෙක් තොරතුරු ලබා දී නොමැති හෙයින් සමස්ත සිදුවීම හා අත්අඩංගුවේ පසුවන 31 දෙනා පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙසට ශ්‍රීලංකා පොලීසිය විසින් ඩුබායි පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව කියවෙන කඹුරුපිටිය ප්‍රාදේශිය දේශපාලන නියෝජිතයන් දෙදෙනා සහ එම ප්‍රාදේශිය සභාවේ සේවකයා, එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයා, කළුතර බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරියා සහ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිවල නිරත පොලිස් නිලධාරියා පිළිබඳවත්, සෙසු සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳවත් කරුණු තහවුරු කර ගැනීම සඳහා මෙම සවිස්තර වාර්තාව ඉල්ලා තිබේ.

අදාළ වාර්තාව ලැබීමෙන් පසු ඔවුන් පිළිබඳ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පොලීසිය බලාපොරොත්තු වෙයි. කෙසේ වෙතත් පළමුව ඩුබායි නීතිය අනුව මෙම පිරිස පිළිබඳ තීරණ ගනු ලබන බවද පැවසේ.

අදාළ වැටලීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අනුදැනුම මත පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුකර ඇතැයි වාර්තා වෙයි. මෙම මෙහෙයුමේ ක්‍රියාකාරී කාර්යයන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් තිදෙනෙකු විසින් සිදුකර ඇතැයිද වාර්තා වේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න