මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය නැවතත් ඔවුන්ගේ විරෝධය පළකර සිටින බව තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.
පසුගියදා බ්‍රසල්ස් නගරයේදී යුරෝපා සංගම් නිළධාරීන් හා මෙරට රජයේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී ද මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යාම සම්බන්ධව ඔවුන් විරෝධතාවය ප්‍රකාශ කර ඇති බවත් අත්තනොමතික ආකාරයට ලංකාව මරණ දඬුවම ක්‍රියාත්ම කිරීමට ගියහොත් නැවතත් ලංකාවට GSP+ සහනය අහිමිවීමේ අවධානමක් පැහැදිළිව තිබෙන බවද එම ආරංචිමාර්ග අවධාරණය කරයි.
GSP+ ඇතුළු සහන ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රතිසංන්ධානය, දූෂණය විරෝධී සටන, යහපාලනය ක්‍රියාත්මක කිරීම ඇතුළු සාධක ගණනාවක් පිළිබඳ සලකා බැලෙන අතර 2017 වසරේ සිට GSP+ සහනය නැවත හිමිවීම හරහා 2018 මැයි මාසය වනවිට ශ්‍රී ලංකාව යූරෝ බිලියන 2.2 ක අපනයන යුරෝපා වෙළඳපොල වෙත යවා තිබේ.
කෙසේ වුවත් මේ වන විට මරණ දඬුවම ලබාදිය හැකි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි ජනාධිපතිවරයා විසින් අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යංශය වෙත ලබාදුන් නියෝගයකට අනුව මෙම 14 දෙනා පිළිබඳව තොරතුරු සකස් කර තිබේ. එම තොරතුරු නීතිපතිවරයා වෙත යවා ඔහුගේ නිර්දේශය ද ලබාගෙන ඇති අතර අමාත්‍යංශය විසින් මෙම ලේඛනය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදීය.
මේ වනවිට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම හිමි වූ පුද්ගලයන් 48 දෙනෙකු බන්ධනාගාරවල සිටින අතර ඉන් 30 දෙනෙකු මරණ දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඉතිරි 18 දෙනාගෙන් තිදෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මීට පෙර නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කර තිබිණි.
ඉතිරි 14 දෙනොගෙන් 11 දෙනෙකුටද මරණ දඬුවම ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බව නීතිපතිවරයා ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති අතර ඒ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කළහැකි සිරකරුවන් 14 දෙනෙකු පිළිබඳව තොරතුරු මේ වනවිට ජනාධිපතිවරයා සතුව තිබේ. ඔවුන් අතර විදෙස් ජාතිකයන් සිව් දෙනෙකු හා කාන්තාවකද සිටින බවත් වාර්තා වෙයි.

