"අපි මැදපෙරදිග රටවලට තෙල් සහ ගෑස් වලට සල්ලි ගෙවන්නේ නැතිව අපේ රටේ මේ තිබෙන ස්වභාවික සම්පත් භාවිතා කරලා ආර්ථිකමය වශයෙන් ලාබ ලැබිය යුතුයි. එදා පරාක්‍රමභාහු රජතුමා කිව්වා මේ රටට පතිතවෙන සෑම ජල බින්දුවක්ම ගොවිතැනට සහ මිනිසාගේ අනෙකුත් අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගෙන මිසක්, නිකරුණේ මුහුදට ගලා යන්නට ඉඩ දෙන්නෙපා කියලා. අන්න ඒ වගේ මම අද කියනවා, මේ මොණරාගල ප්‍රදේශයට ලැබෙන හිරු කිරණ බිදක්වත් අපතේ යන්නට නොදී ආර්ථික ලාභයක් ඇතිවන පරිදි සකස් කරගත යුතුයි කියලා. රටේ මොන දෙයක් කරන්න ගියත් ඒ සදහා විරුද්ධ වෙන්න පිරිසක් සිටිනවා. ඒක තමයි ස්වභාවය. මේක තමයි රට හදන්න බැරි ලොකුම ප්‍රශ්නය" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා මොණරාගල දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 40ක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිත සූර්ය විදුලිබල උද්‍යානයේ ප්‍රථම අදියර කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක,
මේක ලේසි වැඩක් නෙමෙයි. ඉතාමත් දුෂ්කර කාර්යයක්. සීනි කර්මාන්තයේ අතුරු පළයක් වශයෙන් සහ සූර්ය බලයෙන් විදුලිය නිපදවන්න අවශ්‍ය අනුමැතිය දෙන්න තමයි අද ආවේග සමහර විට මේ කටයුතු වලට අපි අනුමැතිය දුන්නම පිරිසක් කියන්න පුළුවන් මම පගාව ගත්තා කියලා. නමුත් අපි ඒවට බය නැහැ. අපිට අවශ්‍ය වන්නේ රට ගෙනියන්න පුළුවන් නායකයන් බිහි කිරීමයි. උස වුණාම සිකුයුරිටි ගාඩ්ල මිටි වුණාම කම්කරු කියලා බෙදන්න අපිට බැහැ. අපිට අවශ්‍ය වන්නේ දහස් ගණන් වැටුපත් ලබාගන්න පුළුවන් පරිවර්තනයක් කරන්නයි. පරිසරවේදීන් සමහරවිට මෙවැනි කටයුතු වලට විරුද්ධ වෙන්න පුළුවන්. මේ රට හදන්න, දියුණු කරන්න බැරි නැහැ. නමුත් මෙවැනි පිරිස් නිසා ඒ කාර්යය දුෂ්කර වෙලා තිබෙනවා. ඒ තත්ත්වය අපි නැතිකරගත යුතුයි. අද කරන්න පුළුවන් දේ අවුරුදු ගනන් පරක්කු වෙන්නේ මේ නිසයි.
රටට වාසියක් වන විදියට, ලංකා විදුලිබල මණ්ඩලයට අලාභයක් නොවන ආකාරයට පාරිභෝගික ජනතාව ඉලක්ක කරගනිමින් කටයුතු කිරීම තමයි අපේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට වගේම මටත් අවශ්‍ය වන්නේ. සියඹලාණ්ඩුවෙන් මේ වගේ පෙරළියක් ඇති කරන්න අප සමග එකට අත්වැල් බැඳගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ සදහා ඔබතුමාලාගේ අදහස් මිශ්‍ර කරලා රටට ඔබින ආකාරයෙන් කටයුතු කරන්නයි අපිට අවශ්‍ය වන්නේ' යැයි පැවසීය.

