Language Switcher

V2025

සුජාත දරුවා කෙලෙසීමේ චෝදනාව පෙරළා සිරිසේනටම - හරිනි අමරසූරිය

ජනාධිපති සිරිසේන සහ එජනිස මන්ත්‍රීවරුන් වන මහින්ද රාජපක්ෂ, එස්.බී. දිසානායක සහ උදය ගම්මන්පිල යන මහත්වරු පාර්ලිමේන්තුවේ අවස්ථා කිහිපයක දී ව්‍යවස්ථාදායක සභාව විවේචනය කළේය.

එසේම ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශකර සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නමැති “සුජාත දරුවා උපතින්ම අංග විකල දරුවෙකු” බවට පත් කර ඇති බවය.

එසේම ජනාධිපතිවරයා චෝදනා කර සිටියේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුනම ව්‍යවස්ථාදායක සභාවෙන් පාලනය වන බවයි. ජනාධිපතිවරයා විසින් විනිශ්‍යකාරවරුන් ලෙස නම්කර යැවූ 14 දෙනෙකුගේ නම් ව්‍යවස්ථාදායක සබාව ප්‍රතික්ෂේපකර ඇති බවද ජනාධිපතිවරයා චෝදනා කර සිටියේය.

ජනාධිපතිවරයා ඇතුළු ඇතැම් පාර්ශ්ව විසින් සිදුකරන මෙම චෝදනාව සම්බන්ධව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා සිටියේ පසුගිය ඔක්තෝබර් 26 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරම්භ කළ රජයට එරෙහි වැඩපිළිවෙළ මේ වන විට “ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීම හරහා සිදු වන” බවයි.

“මේක ඔක්තෝබර් 26 වන දා පටන් ගත්ත ආරවුලේ ම දිගුවක්. රජය සහ ජනාධිපති අතර තිබුණු ආරවුල ඉවරයි වගේ පෙනුණට ඒක නැවතිලා නැහැ. ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපය එහි තවත් එක් ප්‍රකාශනයක් පමණයි,” ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

එසේම හරිනි අමරසූරිය මහත්මිය පවසා සිටියේ ජනාධිපතිවරයාට අකමැති තීරණ ගන්නා විට ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීම සාධාරණ නොවන බවය.

“තමන්ට කැමති තීරණ දෙනකොට හොඳයි කියන්නත්, අකමැති තීරණ දෙනකොට නරකයි කියන්නත් බැහැ. ව්‍යවස්ථාදායක සභාව කියන්නේ, ස්වාධීන ආයතනයක්. ඒක ගන්නා තීරණ පිළිගත යුතුයි. ඒක ව්‍යවස්ථානුකූලයි,”

වැඩිදුරටත් අදහස් දක්වමින් හරිනි අමරසූරිය මහත්මිය පවසා සිටියේ ව්‍යවස්ථාදායක සභාව යනු ස්වාධීන ආයතනයක් බවත් එය විපක්ෂය මෙන්ම ස්වාධීන සිවිල් නියෝජිතයන් ද ඇතුළත් වන බවයි. එබැවින් ව්‍යවස්ථාදායක සභාව ගනු ලබන තීරණ ඒකපාර්ශවික බවට චෝදනා කිරීමට නොහැකි බව කථිකාචාර්යවරිය පෙන්වා දුන්නාය.

(මුලාශ්‍රය - බීබීසී)