Language Switcher

V2025

මාර්තු 5 වනදා : මංගල ගේන අයවැයේ - මෙන්න විස්තරේ

එළඹෙන අඟහරුවාදා (05) මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මැතිසබයට ඉදිරිපත් කරන අයවැය ආර්ථික ප්‍රතිලාභ සෘජුව ජනතාවට සමීප කිරීමේ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකින් සමන්විත බව වාර්තා වෙයි.

එහිදී මෙතෙක් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව විසින් ක්‍රියාවට නගා තිබු ආර්ථික සැළසුම් වල ප්‍රතිපල ජනතාව වෙත ලැබීමට සලස්වන බවත් ඒ අතර තවදුරටත් ආර්ථික ක්‍රියාවලිය තුළ සාර්ථක වීමට නොහැකිවූ දිළිඳු පවුල් සම්බන්ධවද සුවිශේෂ අවධානයක් යොමුකරනු ඇති බවද දැනගන්නට ඇත.

සියලු ජනතාවට ප්‍රතිලාභ !

ඒ අනුව රාජ්‍ය සේවයේ සිට පෞද්ගලික අංශ සේවකයා දක්වා, ස්වයං රැකියා සහ ව්‍යාපාරවල නිරතවන්නන් (එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා - ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමේ ව්‍යාපෘතිය සමඟ එක්වූ සහ එක්වීමේ අපේක්ෂාවෙන් සිටින දහස් ගණනකට) මෙන්ම දිළිඳු පවුල් වෙත ප්‍රතිලාභ නියත වශයෙන් ලැබෙනු ඇති බවද වාර්තා වෙයි.

තවද දේශීය ව්‍යවසායකයින් තවදුරටත් ආරක්ෂාකර ඒ අතර තුර අපනයන වෙළඳපොල පුළුල් කරගැනීමේ අපේක්ෂාවෙන් වැදගත් ප්‍රතිපත්තිමය යෝජනා රැසක් මෙවර අයවැය හරහා හඳුන්වාදීමට අපේක්ෂිත බවද වාර්තා වන අතර ආනයන සීමා කිරීමට දිරිදෙමින් මෙරට ගොවි ජනතාව ඇතුළු කෘෂිකර්මාන්තය ආශ්‍රිත පිරිස් සවිබල ගැන්වීම ට අයවැය යෝජනා හරහා අපේක්ෂිත බවත් වාර්තා වෙයි.

බාධා කිරීම් නොතිබෙන්නට !

ඒ අනුව රජයේ විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ රාජපක්ෂ සමයේ අනුගමනය කළ අත්තනෝමතික සහ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හමුවේ රට දරුණු ණය - මුල්‍ය අර්බුදයක් වෙත වැටීමේ අවධානමින් රට මුදවා ගැනීමට සමගාමීව දහසකුත් නින්දා අපවාද මධ්‍යයේ එක්සත් ජාතික පෙරමුණ ක්‍රියාවට නැගුනු ආර්ථික මුලෝපායන් වල සාර්ථකත්වය මෙවර අයවැය හමුවේ ජනතාවට අත්දකින්නට ලැබෙනු ඇති බවය.

එහිදී රටේ සියලුම ජනතාව වෙත ප්‍රතිලාභ උපරිමයෙන් ලබාදීමට හැකි සෑම ප්‍රයත්නයක්ම මුදල් අමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන ඇති බවත් කකුලෙන් ඇදීම් බාධා කිරීම් නොමැතිව අපේක්ෂිත ආර්ථික මුලෝපායන් ක්‍රියාවට නගන්නට ඉඩක් තිබුණා නම් ජනතාවට මීට වඩා ප්‍රතිලාභ නියත වශයෙන් හිමිකරදීමට තිබු බවද එම ආරංචිමාර්ග අවධාරණය කරයි.

රාජ්‍ය සේවකයන්ට හොඳ කලක් !

මේ අතර රජයේ ආරංචිමාර්ග උපුටා දක්වමින් දේශය පුවත්පත වාර්තා කර ඇත්තේ මෙවර අයවැය හරහා රාජ්‍ය සේවකයන්ට රුපියල් 3000/-කට නොඅඩු වැටුප් වර්ධනයක් ලබාදීමට යෝජිත බවය. එසේම එම වැටුප් වර්ධන ලබන අගෝස්තුවෙන් පසු රජයෙ ‍සේවකයන්ට ලබාදීමට තීන්දු කර ඇති බවද එහි සඳහන් වෙයි.

එසේම විශ්‍රාමිකයන්ට ද රුපියල් 1500/-කට නොඅඩු වැටුප් වර්ධකයක් හිමිවීමට ඉඩ ඇත. මේ හැර අලුතෙන් 10,000 කට පමණ සමෘද්ධි සහනාධාර ලබාදීමට යෝජනා කරන බවද සඳහන් වෙයි.

මෙරටට විශාල විදේශ විනිමය ආදායමක් උපයා දෙන විදේශ ගෘහ සේවයේ නියුතු ගෘහ සේවක සේවිකාවන් සිය සේවා කාලය නිමවා මෙරටට පැමිණි පසු ඔවුන්ට ව්‍යාපාරයක් ඇරඹීමට හෝ නිවාසයක් ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ 25/-කට නොඅඩු ණය මුදලක් ලබාදීමේ යෝජනාවක් ද ඇතැයි කියැවේ. මෙය දිගු කාලයකින් නැවත පියවිය යුතු සුළු පොලියකට ලබාදෙන ණය මුදලකි. එසේම ත්‍රිරෝද රථ හිමියන්ට ද වාහනයක් මිලදී ගැනීමට සහන පොලියට ණය මුදලක් ලබාදෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසු බවද දේශය වාර්තා කර ඇත.