Language Switcher

V2025

දකුණු පළාත් ආණ්ඩුකාර කීර්තිගේ : තවත් අපකීර්තිමත් වැඩක් !

දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට දුරකථනයෙන් බැණවැදී තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

පෙබරවාරි 27 වනදා රාත්‍රී 10.30ට ආණ්ඩුකාරවරයා එම විදුහල්පතිනියගේ නිවසට දුරකථනයෙන් අමතා ඇති අතර පිළිතුරු දී ඇති ඇයගේ සැමියා ප්‍රකාශ කර ඇත්තේ විදුහල්පතිනිය නිවසින් බැහැර කිසියම් කටයුත්තක් සඳහා ගොස් ඇති බවයි.

ඒ මොහොතේ වහාම ඇයව සම්බන්ධ කරදෙන ලෙස බැණවැදී ඇති ආණ්ඩුකාරවරයා ඔවුන්ගේ නිවසට පොලිස් නිලධාරියෙක්ව ද එවා තිබේ. ඒ අනුව රාත්‍රී 10.45 වනවිට විදුහල්පතිනිය සිටි ස්ථානය කරා ඔවුන් ගොස් ඇති අතර එහිදී දුරකථනය හරහා ආණ්ඩුකාරවරයා විදුහල්පතිනියට දැඩි ලෙස දෝෂාරෝපණය කර තර්ජනය කර ඇත.

ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයට සිසුන් හතර දෙනෙකු ඇතුළත් කරගන්නා ලෙස පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරන ලද නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මෙසේ ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා මහ රෑ නිවසට පොලිසියෙන් එවා, දුරකථනයෙන් බැණ වැදී තර්ජනය කර ඇති බව පැවසූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ආණ්ඩුකාරවරයාට මේ සම්බන්ධයෙන් ගතහැකි වෙනත් ක්‍රියාමාර්ග තිබියදී බලයෙන් හිස උදුම්මවාගෙන කළ මෙම ක්‍රියාව තරයේ හෙළාදකින බව පැවසීය.

සවුත්ලන්ඩ් විද්‍යාලය ජාතික පාසලක් බැවින් ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් මැදිහත් වීමට පළාත් සභාවට හෝ ආණ්ඩුකාරවරයාට කිසිදු අයිතියක් නොමැති බවත් ඒ සඳහා මැදිහත් විය යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා බවත් ස්ටාලින් මහතා පෙන්වා දුන්නේය.

එසේම විදුහල්පතිනයේ වරදක් ඇත්නම් ඇයව කාර්යාලයට ගෙන්වා ප්‍රශ්න කිරීමේ හැකියාව තිබියදී ආණ්ඩුකාරවරයා විසින් මහ රෑ ඇයගේ නිවසට පොලිසියෙන් යවා දුරකථනයෙන් බැණවැදී තර්ජනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවයි ඒ මහතා සඳහන් කළේ.

මීට පෙර ද තම රියදුරාගේ දරුවා අනුලාදේවී බාලිකා විද්‍යාලයට ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට කීර්ති තෙන්නකෝන් මහතා බැණවැදී තර්ජනය කර ඇති බව සිහිපත් කළ ඒ මහතා මේ සිද්ධීන් දෙකෙහිම වින්දිතයින් වී ඇත්තේ කාන්තාවන් බව ද අවධාරණය කළේය.

මේ ආකාරයෙන් දිගින් දිගටම ආණ්ඩුකාරවරයා විසින් නිලධාරීන්ට බලපෑම් කිරීම දැඩි ලෙස හෙළාදකින බව යළිත් අවධාරණය කළ ඒ මහතා මෙකී කීර්ති තෙන්නකෝන්ම මීට ටික කලකට ඉහත දූෂණයට, රාජ්‍ය දේපළ සහ බලය අවභාවිතාවට එරෙහිව සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයකු බවත් සිහිපත් කළේය. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා වන්නේ ද මේ කීර්ති තෙන්නකෝන් මහතාමය.

එසේම බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට ඌව පළාත් මහ ඇමතිවරයා තර්ජනය කර ඇයව දණ ගැස්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඇය සමඟ පැමිණිලි කිරීමට ගිය තමන් ඇතුළු පිරිස අතරේත් මේ කීර්ති තෙන්නකෝන් මහතා සිටි බව පැවසූ ස්ටාලින් මහතා අද ඔහුම ආණ්ඩුකාර පත්වීමක් ලැබූ පසු ඌව පළාත් මහ ඇමතිවරයාගේ ආකාරයටම හැසිරෙන බවයි පෙන්වා දුන්නේ.

(LNW )