Language Switcher

V2025

අපි මොනවද කලේ අහපු අයට දැන් පිළිතුරු ලැබෙනවා - අගමැති රනිල්

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ආරම්භ කරමින් වසර 02ක් තුල මධ්‍ය මහා විද්‍යාලවලට ගොඩනැගිලි 50ක් ලබාදුන් බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඒ නිදහස් අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම සඳහා "ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන යටතේ එක් දිනක් තුල පාසල් 200ක ව්‍යාපෘති 200ක් විවෘත කිරීමට හැකි වූ බව පැවසීය.

එලෙස පාසල් 200ක ව්‍යාපෘති 200ක් එක් දිනයකදීම විවෘත කරමින් එවැනි විශාල අධ්‍යාපනික විප්ලවයක් සිදුකළ එකම ආණ්ඩුව බවට වත්මන් ආණ්ඩුව පත්වන බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ "ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන යටතේ පාසල් 200ක ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් පසුගිය 01 වැනිදා කුලියාපිටිය නගර සභා පිටියේ පැවති ජන හමුවක් අමතමිනි.

"ළඟම පාසල හොදම පාසල" වැඩසටහන යටතේ කුලියාපිටිය ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල සහ සාරානාත් විද්‍යාලයේ ශ්‍රවනාගාර ගොඩනැගිල්ල, කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු පුහුණු මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කළ අතර, දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉදිකරන ලද සෙසු ව්‍යාපෘති රජයේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට දායාද කෙරිණි.

මේ නිමිත්තෙන් කුලියාපිටිය නගර සභා පිටියේ පැවති නිල උළෙල අමතා තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයේ පළමු වරට ගතවූ වසර 04 තුල අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කර නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් ආණ්ඩුව සුවිශාල වැඩකොටසක් සිදුකළ බව පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද කීය.

ran 1

මොනවද කලේ කියලා අහන අයට දැන් පිළිතුරු ලැබෙනවා !

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ආරම්භ කළ අවස්ථාවේ මධ්‍ය මහා විද්‍යාලවලට ගොඩනැගිලි 50ක් ලබා දුන්නා. ඒ සඳහා වසර 02ක පමණ කාලයක් ගතවුණ. අද අපේ රජයේ "ළඟම පාසල හොඳම පාසල" වැඩ සටහන යටතේ එකම දවසක පාසල් ගොඩනැගිලි 200ක් භාර දෙන බව මම සතුටින් ප්‍රකාශ කරනවා.

ඇතමුන් අපට දෝෂාරෝපණය කළා. මොනවද රටට කළේ යැයි විමසුවා. දැන් අපට ප්‍රතිඵල පෙන්වන්නට හැකියි. අපේ ආණ්ඩුව බොරුවට බෙර ගහන්නේ නැහැ. නිහඬව වැඩ කරමින් ජනතාවට ප්‍රතිඵල ලබා දෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් යොදවන මුදල් වැඩි කිරීමට අධ්‍යාපනය සංවර්ධනය කිරීමට අපි මැතිවරණයේ දී පොරොන්දු වුණා. එය ලෙහෙසි පහසු තීරණයක් නොවෙයි. ඒ වගේම විශාල ණය බරක් අපට භාර ගැනීමට සිදු වුණා. එය කොතරම් විශාල දැයි කියනවා නම් අප දෙවැනි වුනේ ග්‍රීසියේ ණය බරට පමණයි.

අප සේවකයින්ගේ පඩි කැපුවේ නෑ. අනෙක් රාජ්‍ය වියදම් අඩු කළේ නැහැ. සේවක වැටුප් වැඩි කරමින් අනෙක් දීමනා සහ වියදම් ද වැඩි කරන අතරම රටේ අධ්‍යාපන ක්‍රමය නවීකරණය කිරීමට අවශ්‍ය මුදල් යෙදවීමට මම තීරණය කළා.

සෞඛ්‍යයට, නිවාස සංවර්ධනයට මහා මාර්ග ඉදිකිරීමට අපට මුදල් වෙන් කිරීමට සිදු වුණා. ඒ වගේම සෑම වසරකම විශාල ණයක් ගෙවීමට සිදුව තිබුණා. අපට වැඩිම ණය ප්‍රමාණයක් ගෙවීමට තිබෙන්නේ මේ වසරේයි. ඒ ඩොලර් මිලියන 6200ක්. මීට පෙර සිටි පාලකයින්ට ණයත් ගෙවමින් තව දුරටත් රට කිරීමට නොහැකි වූ නිසා මැතිවණ වලට යෑමට සිදු වුණා. අප මේ ණය ගෙවීමට තවත් ණය ලබා ගත්තා. ඒවා ගෙවීමටත් අප දැන් සැලසුම් සකස් කර තිබෙනවා.

අපනයන ආර්ථිකයක් ඇති කිරීමට, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට, ඉන්දියානු කලාපයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අප කටයුතු කරනවා. එහි වැඩකටයුතු අප දැන් ආරම්භ කර තිබෙනවා. එම වැඩසටහන් සාර්ථක වීමට නම් නවීන අධ්‍යාපනික දැනුම් ඇති පිරිස් අවශ්‍ය වෙනවා.

ran 2ණය අර්බුදයක් තිබුණත් අත්‍යාවශ්‍ය අංශවලට අදාළ මුදල් වෙන්කළා !

රට දියුණු වීමට හොඳ සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස, මංමාවත් අවශ්‍යයි. එම නිසා ණය අර්බූදයේ සිරවී සිටියත් එම අංශ වලට ආදාල මුදල් වෙන් කිරීමට අපි තීරණය කළා. ජනතාවගේ ජීවන වියදම වැඩි වුණා. අනුන්ගේ පව් ගෙවමින් විදේශ රටවලට ණය ගෙවීමටත් සිදු වුණා. කෙසේ නමුත් අපිට මෙවැනි විශාල විවෘත කිරීම් වලට මුදල් ලබා දීමටත් හැකි වී තිබෙනවා.

ලංකා ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසය තුලත් පාසල් 200ක ගොඩනැගිලි එකවර විවෘත කිරීමක් සිදුවී නැහැ. එවැනි විප්ලවයක් කළේ අපේ ආණ්ඩුවයි. මෙම වැඩසටහන මින් අවසන් වන්නේ නැහැ. තවත් විශාල වැඩ කොටසක් සිදු කිරීමට තිබෙනවා. අද මෙම විවෘත කිරීමෙන් මට අවශ්‍ය වුනේ ගතවූ කාලය තුල අපි රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදු කළ කාර්යභාර්ය රටට පෙන්වීමටයි. හිස් ගොඩනැගිලි පමණක් අපි ලබා දෙන්නේ නැහැ. ඒවාට අවශ්‍ය උපකරණ ආදියත් ලබා දෙනවා.

සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන, ජංගම විද්‍යාගාර, වැසිකිලි පහසුකම් ආදි සියළු දේ අපි පාසැල් වලට ලබා දුන්නා. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදු කළේ කුමක්ද යන්න මේවායින් පැහැදිලි වෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කුලියාපිටියටත් විශ්වවිද්‍යාලයක් ලබා දෙනවා.

අප ඔබේ යහපත වෙනුවෙන් මේ ආකාරයට විශාල ලෙස මුදල් වෙන් කර තිබෙනවා. දැන් රට ඉදිරියට යමින් තිබෙනවා. බියක් සැකක් නොමැතිව ඉදිරි පියවර ගැනීමට අපි දැන් ලෑස්තියි. මේවා වියදම් ලෙස නොව ආයෝජන ලෙසයි අප දකින්නේ.

ran3

සුහුරු පන්ති කාමර 200ක් දැන් රටපුරා ක්‍රියාත්මකයි !

ශ්‍රී ජයවර්ධනපුරයේ සුහුරු පංති කාමර අපි ආරම්භ කළා. දැන් සුහුරු පන්ති කාමර 200ක් දැන් රට තුල ක්‍රියාත්මක වෙනවා. පාසල් 20කට ටැබ් පරිගණක ලබාදී මූලික අත්හදා බැලීම සිදු කරමින් සිටිනවා. පළමු සුහුරු විද්‍යාලය කුරුණෑගලින් ආරම්භ කලා. තවත් කිහිපයක්ම මහනුවර, කොළඹ, කුරුණෑගල ප්‍රදේශවල ආරම්භ කර තිබෙනවා. විද්‍යා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා විද්‍යා ගුරු පීඨ 02ක් ආරම්භ කරන ලෙස මට උපදෙස් දුන්නා. ගුරුවරුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා එළඹෙන සතියේ ඇමෙරිකාවෙන් ගුරුවරුන් පැමිණෙනවා.

මෙවැනි විශාල දියුණුවක් අප ඇතිකරමින් සිටිනවා. මෙහි සිටින පිරිසෙන් කී දෙනෙක් මෙම වැඩසටහන පිළිබඳ දැනුම්වත් ද? අප ආණ්ඩුව භාරගත්තේ ආර්ථිකය ස්ථාවර කිරීමටයි. රටේ ජනතාවට අනාගතයක් ඇති කිරීමටයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට අපේ ආණ්ඩුවට හැකි වුණා. සංහිදියාව ශක්තිමත් කළා. ණය බර පාලනය කළා. අධ්‍යාපන සෞඛ්‍ය ආදි සියලූ අංශයන් සඳහා අප විශාල මුදලක් ආයෝජනය කර තිබෙනවා. අප මෙම වැඩසටහන ඉදිරියට ගෙන යා යුතුයි. මෙවැනි නව ක්‍රමවේද අපි ආරම්භ කළ යුතුයි.

මේ ආකාරයට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට නොහැකි අය අපිව විවේචනය කරනවා. තම ජීවිත කාලයටම එක් ගොඩනැගිල්ලක් විවෘත කර කතාවක් පවත්වා විරුද්ධ පාක්ෂිකයන්ට බැනීම තමයි ඔවුන් කරන්නේ. අපි සිංහල බෞද්ධකම පවා පාවා දෙනවා. ත්‍රස්තවාදය නැවත ඇතිකරනවා ආදි කතා කියමින් බොරුවට මාධ්‍ය ඉදිරියේදී අපිට බනිනවා. එපමණයි ඔවුන් කරන්නේ.

එම නිසා අද මම මේ ගොඩනැගිලි 200ක් විවෘත කරමින් පිළිතුරු ලබා දුන්නේ ඔවුන්ටයි. අපි මේ රට වෙනුවෙන් කරන්නේ කුමක්දැයි මේ හරහා ඔවුන්ට පිළිතුරක් ලැබෙනවා. මේ වැඩසටහන් වෙනුවෙන් බොහෝ මාධ්‍ය හරහා ප්‍රචාරයක් ලබාදෙයිද. නැහැ. මාධ්‍යයත් සෑම විටම ප්‍රශ්න කරන්නේ අපි කරන්නේ කුමක්ද කියායි. බොහෝ මාධ්‍ය ආයතන අද කුලියාපිටිය මේ විවෘත කිරීම හැර අනෙක් විවෘත කිරීම් ප්‍රචාරය නොකරන බව මා දන්නවා.

විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න් හොඳ දැනුම ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් රට වෙනුවන් බිහිකිරීමටයි. අපේ ඇමතිතුමා මේ වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කරනවා. එතුමාගේ නිලධාරීන් සහ රාජ්‍ය ඇමතිතුමියත් විශාල ලෙස කැප වී සිටියා. රටේ අධ්‍යාපන අමාත්‍යධූරයක් පළමු වතාවට ද්‍රවිඩ කතාකරන අමාත්‍යවරියකට පැවරූ පළමු අවස්ථාව මෙයයි. එය සංහිදියාවට විශාල රුකුලක් බව අවසාන වශයෙන් පැවසිය යුතුයි.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, බුද්ධ ශාසන හා වයඹසංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සි අලවතුවල, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල්, ප්‍රමුඛ දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන් විදුහල්පතිවරු සහ ආචාර්ය මණ්ඩලය යන මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.