Language Switcher

V2025

ඉන්දියන් සාගරයේ : නාවුක කේන්ද්‍රය හබක් !

ආර්ථික ලිහිල්කරණ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනෙන අයවැයක් ලෙස මෙවර අයවැය හඳුන්වා දෙනු ලැබුවද එම ප්‍රතිපත්තිය නාවුක කර්මාන්තයට අදාළ නොවන තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වෙයි.

ඊට හේතුව ආණ්ඩුවේ ප්‍රබලයකු සමාගම් කිහිපයක ග්‍රහණයේ ඇති නාවුක කර්මාන්තය ඉන් මුදවා ගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට දැඩි විරෝධයක් දක්වා සිටීමය.

ඒ මත ලංකාව ඉන්දියන් සාගරයේ නාවුක කේන්ද්‍රයක් කිරීම වෙනුවෙන් වන ආණ්ඩුවේ උපාය මාර්ගික වැඩපිළිවෙලද අකර්මණ්‍ය වන පැහැදිළි අවධානමක් මතුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.

2018 අයවැයේ යෝජනාව !

භාණ්ඩ මෙහෙයුම් සහ නාවුක කර්මාන්තය ආශ්‍රිත ආයතන වල හිමිකාරීත්වය වෙනුවෙන් විදේශීය සමාගම් සතු සීමා ඉවත් කිරීමට වන ප්‍රතිපත්තිමය යෝජනාව ඉදිරිපත් වුයේ 2018 අයවැය හරහාය. ඒ එවර (2018) අයවැය යෝජනාවලියේ 97 වන යෝජනාව ලෙසය.

එහි සඳහන් වූයේ "නූතන භාණ්ඩ හුවමාරු සහ නාවික කර්මාන්තයේ ඉල්ලුමට මුහුණදීම පිණිස 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරී පනත සහ 1971 අංක 52 දරන වෙළඳ හා නාවික පනත සංශෝධනය කරනු ඇත. වඩා හොඳ තරගකාරීත්වයක් සහතික කිරීම සඳහා ස්වාධීන වරාය නියමකයකු හඳුන්වා දෙනු ඇත. නාවික කටයුතු සහ භාණ්ඩ මෙහෙයුම් ආයතන වල විදේශ හිමිකාරීත්වය කෙරෙහි ඇති සීමාවල් ලිහිල් කරනු ඇත. මෙමගින් ජාත්‍යන්තර ප්‍රධාන නාවික සමාගම් සහ භාණ්ඩ හුවමාරු ක්‍රියාකරුවන්ට ශ්‍රී ලංකාවේ සිට මෙහෙයුම් කටයුතු වල නිරතවීමට උපකාරී වනු ඇත." යන්නය.

ලංකාව ඉන්දියන් සාගරයේ නාවුක කේන්ද්‍රයක් කිරීම වෙනුවෙන් වන ආණ්ඩුවේ උපාය මාර්ගික වැඩපිළිවෙල සඳහා ද මෙම යෝජනාව තීරණාත්මකව වැදගත් වන බව අමුතුවෙන් කිවයුතු නැත.

ශ්‍රීලනිප ප්‍රබලයන් මිලටගත් කෝටිපතියන් එජාපෙ ඇමතිවත් මිලට අරගෙන !

එහෙත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙරට නාවුක කර්මාන්තය අරක්ගෙන සිටින සමාගම් කිහිපයක් ආණ්ඩුවේ ප්‍රබලයා සමඟ ඇතිකරගෙන තිබෙන සැකසහිත එකඟතාව මත ආර්ථික ලිහිල්කරණ ප්‍රතිපත්තිය නාවුක කර්මාන්තය තුළ ක්‍රියාවට නැංවීම වළක්වා ඇති බවට සැකසංකා මතුව ඇති බවය.

පසුගිය වසරේද අයවැය හරහා මෙම යෝජනාව ක්‍රියාවට නැංවීමටයාමේදී මෙරට නාවුක කර්මාන්තයෙන් 73%ක් පමණ අරක්ගෙන සිටින මහා පරිමාණ සමාගම් සහ ඒවායේ හිමිකාරීත්වය දරන කෝටිපති ව්‍යාපාරිකයන් යහපාලන ආණ්ඩුවට සම්බන්ධවී සිටි ශ්‍රීලනිප ප්‍රබලයන් කිහිපදෙනෙකු හරහා ඊට බාධා එල්ල කළ බවය.

එහිදී අතයට ගනුදෙනුවක් සිදුවූ බවට පැහැදිළි සැකසංකා ඇති බවත් මෙවර එම ව්‍යාපාරිකයන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ ප්‍රබලයකු අල්ලාගෙන ආණ්ඩුවේ ජාතික ප්‍රතිපත්තියක් මුළුමනින්ම ආපසු හැරවීමේ නින්දිත උත්සාහයේ නියැලෙන බවක් පෙනී යන බවද එම දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එම ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ ඉදිරි මැතිවරණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය වියදම් දැරීමේ පොරොන්දුව මත මෙම ජාතික අපරාධය සිදුවන බවටද තොරතුරු ලැබී ඇති බවය.