පාර්ලිමේන්තු විවාදය බැඳුම්කර වාර්තාව නැතුව !

පාර්ලිමේන්තු විවාදය බැඳුම්කර වාර්තාව නැතුව !

බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ ඇතුලත් වාර්තාව සම්බන්ධව විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවනු ලැබුවත් එම විවාදය සඳහා අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමේ සුදානමක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

වාර්තාවන ආකාරයට සියළු පක්ෂවල එකඟතාව මත බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ එහි නිර්දේශ පිළිබඳ විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමට සුදානම් වුවත් අදාළ වාර්තාව ඒ වෙනුවෙන් නිකුත් කිරීමක් සිදුකරනවාද නැද්ද යන්න කෙරෙහී ජනාධිපතිවරයා තවමත් තීරණයක් ගෙන නොමැති බවය.

අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයටත් නෑ

එසේම රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකළ සහ රටේ අග්‍රාමාත්‍යවරයා , කැබිනට් මණ්ඩල සාමාජිකයන්, ඉහල පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාශියකගේ නම් සහ ඔවුන්ට අදාළ නිර්දේශ ඇතුළත් බව පැවසෙන මෙම වාර්තාව මෙතෙක් අමාත්‍ය මණ්ඩලය වෙත හෝ ඉදිරිපත් වී නොමැති බවත් ඒ මතද පාර්ලිමේන්තු විවාදය සඳහාද අදාළ වාර්තාව නිකුත් වීම සැකසහිත බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ජවිපෙ සහ රවී පිටපත් ඉල්ලයි

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා වෙතින් ජනාධිපති බැඳුම්කර වාර්තාවේ පිටපතක් ඉල්ලා අයදුම්පතක් ඉදිරිපත් කළ අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක ද එම වාර්තාවේ පිටපතක් ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබිණ.

විවාදය කවුරුත් ඉල්ලුවා

එසේම අදාළ කොමිසමේ නිර්දේශ සම්බන්ධව පසුගියදා ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකල අතර අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, එකාබන්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ශව ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් සඳහන් කර සිටියේ අදාළ නිර්දේශ සම්බන්ධව ක්‍රියා මාර්ග ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව කැඳවා විවාද කල යුතු බවය.

අගමැතිත් එකඟයි

පසුගියදා කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද සඳහන් කර සිටියේ අදාළ කොමිසම් වාර්තාව සම්බන්ධව විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමට තම පක්ෂයද එකඟ බවත් ඒ බව කතානායකවරයා දැනුවත් කිරීමටද තමන් කටයුතු කළ බවය.

වාර්තාව නැතුව විවාද මොකටද ? - දේශපාලන පක්ෂ

කෙසේ වුවත් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධව අප දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිපදෙනෙකු වෙතින් කරුණු විමසීමේදී ඔවුන් සඳහන් කර සිටියේ අදාළ වාර්තාව සම්බන්ධව පාර්ලිමේන්තුව කැඳවා විවාද කිරීමට නම් එම වාර්තාව සභාවට ඉදිරිපත් විය යුතු බවත් එසේ නොමැතිව නොදුටු වාර්තාවක් පිළිබඳ විවාද කිරීම කිසිඳු තේරුමක් නැති දෙයක් වන බවය.

අන්ධයින් අලියාගේ හැටි කිව්ව කතාව මතකද

මේ සම්බන්ධව අප සමඟ අදහස් දැක්වූ දුෂණ විරෝධී සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු සඳහන් කර සිටියේ නොදුටු වාර්තාවක් පදනම් කරගෙන සිදුකරන්නට යන පාර්ලිමේන්තු විවාදය අන්ධයින් අලියාගේ හැටි කීවාටත් වඩා විකෘතියක් වනු ඇති බවය. එසේම අන්ධයින්ට අලියාගේ හැටි පැවසීම සඳහා අලියා අල්ලන්න ලැබුනත් ඒ කිසිවක් නොමැතිව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මත පදනම්ව පමණක් විවාද කිරීමට මන්ත්‍රීවරුන්ට සිදුවනු ඇති බවත් එය පාර්ලිමන්ට් ජෝක්ස් යහපාලන වර්ෂයන් ලෙස ඉතිහාසගතවනු ඇති බවත් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න