Language Switcher

V2025

මිල සූත්‍රයට පිටින් ජනතාවට සහන දෙනවා : පොහොසත් බබාලට බදු ගෙවන්න පුරුදු කරනවා - ඇමති මංගල

මිල සූත්‍රය අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 8කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 14කින් ඉහළ නැංවිය යුතු වුව ද ජනතාවාදී ආණ්ඩුවක් ලෙස පෙට්‍රල් 3කින් සහ ඩීසල් රුපියලකින් ඉහළ නංවමින් එළඹෙන උත්සව සමය වෙනුවෙන් ජනතාවට සහනයක් ලබා දුන් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි.

නොඑසේ නම් පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137 දක්වා ද ඩීසල් ලීටරයක නව මිල රුපියල් 117 දක්වා ද ඉහළ දැමිය යුතුව තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ බව කියා සිටියේ අද (13) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘‘ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල දිගින් දිගට ම ඉහළ යමින් පවතින අතර පසුගිය දෙසැම්බර් මාසයේ ඇ.ඩො. 53.8 පැවැති බොර තෙල් බැරලයක මිල අද වන විට ඇ.ඩො 70.4 දක්වා 30.8% කින් ඉහළ ගොස් තිබෙනවා. රුපියලේ අගය මේ වන විට ස්ථාවර වෙමින් තිබෙනවා. ඒ නිසා මිල සූත්‍රයට අනුව අපි හැම මාසෙම තෙල් මිල සංශෝධනය කළත් ජනතාවට දරා ගන්න බැරි මට්ටමේ මිල වැඩිවීමක් වෙනව නම් අපි රජයක් විදියට ඒ සඳහා මැදිහත් වෙනවා. ළග එන උත්සවය සමය පිළිබඳ සලකා බලල අපි තීරණය කළා ඉතා ම සුළු ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ නංවන්නට.

වතු කම්කරු වැටුප් ප්‍රශ්නයට ආණ්ඩුවෙන් සහනයක් !

වතු කම්කරුවන්ගේ වැටුප ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී සංධානය ඇතුළු කණ්ඩායම් රැසක් එක්ක සාකච්ඡා කළා. ඒ අනුව අපි ඊට විසඳුමක් ලෙස වතු කම්කරුවන් වෙනුවෙන් රුපියල් 50ක දීමනාවක් වසරක කාලයක් සඳහා ලබා දෙන්න තීරණය කළා. මේ මුදලත් සමග ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 800ක් දක්වා ඉහළ යනවා. අපි බලාපොරොත්තු වෙනවා වතු ක්ෂේත්‍රය ප්‍රතිසංධානයකට ලක් කරන්න.විශේෂයෙන් ම වතු කම්කරුවන් වඩාත් නවීන පරිසරයක් තුළ ඔවුන්ගේ රැකියාව කරගෙන යා යුතුයි. එසේ ම මේ කම්කරුවන් අදාළ වතුවල කොටස්කරුවන් බවට පත් කිරීමේ ආකාරය පිළිබඳ අපි සාකච්ඡා පවත්වාගෙන යනවා.

මේක සංවේදී අයවැයක් !

අයවැය දෙවැනිවර කියවීමේ ඊයේ සම්මත වුණා. විවිධ කණ්ඩායම් ආණ්ඩු පෙරළියක් ගැන කතා කළත් ඉතා පැහැදිලිව අපි අයවැය දෙවැනිවර කියවීම ජයගත්තෙ එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ පළමු අයවැය ලේඛනය විදියටයි. අපි අයවැය මගින් විවිධ ජනකොටස්වල ශක්තිය දුන්නා, කෑම වේලක් වෙනුවට බිලී පිත්තක් ලබා දෙන ආකාරයේ අයවැයක් මේක. මේක ඡන්ද අයවැයක් නෙවෙයි සංවේදී අයවැයක්. ජනතාව වෙනුවෙන් පෙනී සිටින අයවැයක්. ෆයිනෑන්ෂල් ටයිම්ස් සමීක්ෂණය අනුව මේ අය වැය සම්බන්ධයෙන් 60%ක් ලැබිල තියෙන්නෙ ධනාත්මක ප්‍රතිචාරයි.

අයවැය සම්මත කර ගන්නා ආකාරයෙන් ම මේ යෝජනා ක්‍රියාත්මක කළ යුතුයි. මේ සඳහා කමිටු හයක් පත් කරන්න අප බලාපොරොත්තු වෙනවා.

අයවැය සම්බන්ධයෙන් පැතිර යන වැරැදි අදහස් කිහිපයක් නිවැරැදි කළ යුතුයි.

පොහොසත් බබාලට බදු ගෙවන්න පුරුදු කරනවා !

ළමා ඉතිරි කිරීමේ ගිණුම්වලින් අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද අය කෙරෙන්නෙ මාසිකව රුපියල් 5000ක් හෝ ඊට වැඩි පොලියක් එකතු වෙන ඉතුරුම් ගිණුම්වලින් පමණයි. ඒ කියන්නෙ රුපියල් 5000ක මාසික පොලියක් ලැබෙන්න නම් ඒ ළමා ගිණුමේ රුපියල් ලක්ෂ 12ක්වත් තැන්පත් කර තිබිය යුතුයි. එවැනි ගිණුමක් පවත්වාගෙන යන පොහොසත් බබාල කුඩා කාලේ ඉඳල ම බදු ගෙවන්න පුරුදු වෙන එක හොඳයි.

උසස් පෙළ විභාගයෙන් ඉහළ ම ලකුණු ලබා ගන්නා සිසුන් වෙනුවෙන් විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබා දෙන වැඩපිළිවෙළ 2019 අගෝස්තු විභාග ප්‍රතිඵල සමග ක්‍රියාත්මක කරනවා. උසස් පෙළ ප්‍රධාන විෂය ධාරා 5න් වැඩිම ලකුණු ලබා ගන්නා සිසුන් පස් දෙනා සහ පළාත් 9න් වැඩි ම ලකුණු ලබා ගන්නා සිසුන් 9 දෙනා ඇතුළුව සිසුන් 14 දෙනෙකුට මෙම අවස්ථාව හිමි වෙනවා. මේ වෙනුවෙන් රජය සිසුවකුට එක් වසරක් සඳහා ඇ.ඩො 70,000ක පමණ මුදලක් වැය කරනවා. දළ වශයෙන් රුපියල් මිලියන 12ක් එක් වසරක් සඳහා වැය කළොත් රුපියල් මිලියන 50ක් පමණ වසර හතර සඳහා වැය කෙරෙනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 170ක් මේ වන විටත් වෙන් කරල තියෙනවා. මේ සඳහා අපි අදාළ සිසුන් සමග ගිවිසුමකට එලඹෙනවා. ඒ අනුව ඔවුන් අදාළ උපාධිය සම්පූර්ණ කර වසර තුනක් ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණිය යුතුයි. එසේ පැමිණ වසර 10ක්වත් ශ්‍රී ලංකාවේ සේවය කළ යුතුයි. නමුත් කිසියම් කෙනෙකුට අවශ්‍ය නම් විදේශගත වෙලා දිගට ම සේවය කරන්න ඔවුන් වෙනුවෙන් රජය වැය කළ මුදලින් 125%ක් ආපසු රජය වෙත ගෙවිය යුතුයි.

මහින්ද තමයි ආර්ථික ඝාතකයා !

අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් ඊයේ මගෙන් පාර්ලිමේන්තුවේ දිත් ප්‍රශ්න කළා. මම ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන්නම්. ඔක්තෝබර් 26 වෙනිදා සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් අපි ජාත්‍යන්තර දර්ශකවල පහළට ගමන් කළා. දින 51ක් තිස්සේ අගමැති පුටුවේ විතරක් නෙවෙයි මගේ පුටුවෙත් වාඩි වෙලා හිටපු රාජපක්ෂ මහත්තයා නිසා රට ආපස්සට ගමන් කළා. බැඳුම්කර ලබා ගැනීමේ පොලී අනුපාත 3%කින් වගේ ඉහළ ගියා. නමුත් අපි බලයට ඇවිත් යළි රට සාමාන්‍ය මට්ටමට ගත්ත නිසා ඒ 3%ක් විතර අතිරේකව වැඩි වුණ පොලී අනුපාතය 1.5% වගේ මට්ටමට අඩු කර ගන්න අපට හැකි වුණා. ඒ 1.5%ක ඉහළ පොලී අනුපාතය නිසා රටට රුපියල් බිලියන 6.4ක් විතර අහිමි වුණා. මට මතකයි ඒ දවස්වල විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියනවා ආර්ථික ඝාතකයන් ගැන. මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ඒ දින 51 දී ඔප්පු කළා ඔවුන් තවමත් ආර්ථික ඝාතකයන් බව.

ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විමලේන්ද්‍ර රාජා, බදු උපදේශිකා තනුජා පෙරේරා සහ අමාත්‍ය උපදේශක දේශාල් ද මෙල් යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.