පිස්සු නැත්නම් - බබා නෙවෙයි නම් : ගෝඨාභය ඇමරිකාවෙන් නිදහස් !

පිස්සු නැත්නම් - බබා නෙවෙයි නම් : ගෝඨාභය ඇමරිකාවෙන් නිදහස් !

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිකම ප්‍රතික්ෂේප කරමින් පසුගිය 6 වැනිදා (බදාදා) ඇමෙරිකානු තානාපති කාර්යාලයට අයැදුම්පත්‍රයක් භාරදී ඇති බව දෙරණ මාධ්‍ය ජාලයේ අරුණ පුවත්පත වාර්තා කරයි.

අදාළ මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

එසේ භාරදුන් අයැදුම්පත්‍රය ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් වොෂින්ටනයේ පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවට යොමු කිරීමට නියමිතය.

පසුගිය ජනවාරි මාසයේ ඇමෙරිකාවට ගොස් සිය පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය මූලික ලේඛන සකස් කර ගෙන පැමිණ ජනවාරි විසි වැනි දින සති අග අරුණ පුවත්පතට ‘‘දැන් පුරවැසිකම අදාළම නෑ.’’ යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ ඒ අනුවය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආගමන හා ජාතිකත්ව පනතේ 349/A5 වගන්තියට අනුව ස්වේච්ඡාවෙන් පුරවැසිභාවය අහෝසි කර ගන්නා ආකාරය එහි සඳහන් කර තිබේ.

පුරවැසිභාවය ප්‍රතික්ෂේප කර අයැදුම්පත්‍රය භාර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එය පිළිගැනීමෙන් පසු නිසි දිවුරුම් ප්‍රකාශයක් කොට ගුවන් ගමන් බලපත්‍රයද භාරදිය යුතුය.

පුරවැසිභාවය අහෝසි කර ගැනීමේ අයැදුම් පත්‍රය භාරදීමෙන් පසු එය ප්‍රතික්ෂේප වන්නේ අවස්ථාවන් දෙකක දී පමණක් බව තානාපති ආරංචි මාර්ග සඳහන් කළේය.

සිහිකල්පනාවෙන් තොරව එම අයැදුම්පත භාරදීම හා කුඩා වියේ සිටින දරුවකු විසින් පුරවැසිබව ප්‍රතික්ෂේප කිරීමේ අයැදුම්පත භාරදීම එම අවස්ථා දෙකය.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මෙම මස 26 වැනි දින සිට අප්‍රේල් 12 වැනිදා දක්වා වූ කාලය තුළ විදේශගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පසුගිය 15 වැනි දින අවසර ලබා දුන්නේය. ඒ අනුව ඇමෙරිකාවේ වෙසෙන තම පුතුගෙන්ද එරට සිටින සිය හිතවතුන්ගෙන්ද සමුගෙන නැවත අප්‍රේල් 12 වැනි දින යළි පැමිණීමෙන් පසු සෙසු ලිපිලේඛන තානාපති කාර්යාලයට භාරදීමට සැලසුම් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇති ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගොස් දිවුරුමක් ලබාදී සිය සන්තකයේ ඇති ගුවන් ගමන් බලපත්‍රයද භාරදීමට නියමිතය.

කෙසේ වෙතත් පුරවැසිභාවය ප්‍රතික්ෂේප කර අයැදුම් පත්‍රයක් සකස් කර තානාපති කාර්යාලයට භාරදුන් පසුව එය නැවත අවලංගු කර ගැනීමට නොහැකි බව තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

(අරුණ)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න