ගෝඨාගේ නඩුවේ සුධම්මිකටත් රට යන්න අවසර !

ගෝඨාගේ නඩුවේ සුධම්මිකටත් රට යන්න අවසර !

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති මහජන මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමට එරෙහි නඩුවේ හතර වන විත්තිකරු ලෙස නම් කර සිටින සුධම්මික ආටිගල නැමැත්තාට විදේශගතවීම සඳහා ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ මඩුල්ල විසින් අද (21) අවසර ලබා දී තිබේ.

මෙම නඩුවේ සිව්වන විත්තිකරු ලෙස නම් කර සිටින සුධම්මික ආටිගල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ප්‍රවාහනය පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා අප්‍රේල් මස 29දා සිට මැයි මස 07 වනදා දක්වා එරට සංචාරය කිරීමට අවශ්‍යව ඇති බව දන්වා ඇත.

එම ඉල්ලීම පිළිගත් ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ කාල සීමාව සඳහා එම විත්තිකරුට විදේශගත වීම සඳහා අවසර ලබා දී ඇති අතර දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස නියෝග කර තිබේ.

ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේදී ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9ක මුදලක් සාවද්‍ය ලෙස යෙදවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

තමන් එසේ සාවද්‍ය ලෙස පරිහරණය කළ රුපියල් මිලියන 33.9ක මුදල් ආපසු ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට ගෙවූ බව ගෝඨභය රාජපක්ෂ පසුගිය වසරේ අවස්ථාවකදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පැවසීය.

වීරකැටිය මැදමූලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ජනතා මුදල් අවභාවිතා කිරීම සම්බන්ධ නඩුවේ විත්ති කරුවන් ලෙස ගෝඨාභය රාජපක්ෂ සමග 07 දෙනෙකු නම් කර ඇති අතර එම සෙසු විත්තිකරුවන් වන්නේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී. මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න