Language Switcher

V2025

විශ්‍රාම වැටුපේ ස්කෑන් වංචාවක් !

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ලිපිගොනු ලක්ෂ ගණනක් ස්කෑන් කිරීම සදහා පුද්ගලික ආයතනයකට ලබාදීමේ කොන්ත්‍රාත්තුව පිටුපස අත්තනෝමතික ගනුදෙනු රැසක් සිදු වී ඇතැයි අනාවරණය වේ.

එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රවීන්ද්‍ර පද්මප්‍රිය විසින් ඔහුගේ සමීප හිතවත්කමක් මත මේ ගනුදෙනු සිදු කර ඇති බව දෙපාර්තමේන්තුවේ ඉහළම ආරංචි මාර්ග හෙළිදරව් කරයි.

මේ අනුව වැන්දඹු සහ අනත්දරු ලිපිගොනු ලක්ෂ 10 ක් රුපියල් 100 ගණනේ ගෙවීමේ පොරොන්දුව පිට අදාළ පුද්ගලික ආයතනයට ස්කෑන් කිරීම සදහා ලබා දී ඇත. එසේම දෙපාර්තමේන්තුවේ සිවිල් ලේඛනාගාරයේ ඇති දැනට විශ්‍රාම වැටුප් ගෙවන පිරිසට අයත් ලිපිගොනු ලක්ෂ ගණනක්ද මේ වනවිට අදාළ පුද්ගලික ආයතනයෙන් ස්කෑන් කර තිබේ. මෙම ලිපිගොනු ස්කෑන් කිරීමේ අවශ්‍යතාවක් නැති බවද අදාළ ඉහළ නිලධාරීහු පෙන්වා දෙති.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලයද අතික්‍රමණය කරමින් සිටින මෙම නිලධාරියාට පසුගිය කාලයේ මුදල් අමාත්‍යාංශයට ස්ථාන මාරුවක්ද ලබා දී ඇතත්, ඔහුගේ දේශපාලන සම්බන්ධකම් මගින් එය වළක්වාගෙන තිබේ.

මේ අතර පුද්ගලික දුරකතන සමාගමක් සමග විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අත්සන් කර ඇති ගිවිසුමක් වෙනුවෙන් එහි ඉහළ නිලධාරීන්ට ත්‍යාග රැසක් ලැබී ඇතැයිද අදාළ ඉහළ පෙළේ ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් විමසීමට දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රවීන්ද්‍ර පද්මප්‍රිය සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළද, එය අසාර්ථක විය. එම නිලධාරීන්ගේ ලේකම්වරුන් ලෙස හදුන්වා ගත් පිරිස් අපගේ දුරකතන අංක ලබාගෙන, හැකි ඉක්මනින් ඇමතුමක් ලබාගන්නා බව පැවසුවද, පුවත්පත මුද්‍රණයට යන තෙක් එය සිදු වූයේ නැත.

ශාලික විමලසේන
ලංකා ඉරිදා සංග්‍රහය