තරුණයන් අතුරුදහන් කිරීමට චෝදනා ලබා සිටි කොමදෝරු ඩී. කේ. පී. දසනායකට ඇප

තරුණයන් අතුරුදහන් කිරීමට චෝදනා ලබා සිටි කොමදෝරු ඩී. කේ. පී. දසනායකට ඇප

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී. කේ. පී දසනායක ඇතුළු 5 දෙනකුට කොළඹ මහාධිකරණය අද (09) ඇප ලබාදී ඇති බව වාර්තා වෙයි.

රිමාන්ඩ් භාරයේ සිටියදී ඔවුන් කළ ඇප ඉල්ලීම මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරුණු අතර කොළඹ මහාධිකරණය විසින් මෙම ඇප ලබාදීම සිදුකර ඇත්තේ එම නියෝගය ප්‍රතිශෝධනය කරමින් ය.

කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මෙම ඇප ලබාදීමේ නියෝගය නිකුත් කළ අතර ඒ අනුව එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීම සිදුකර ඇත.

එසේම සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කර ඇති බවත් ඔවුන් සෑම මසකට වරක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.

 ඩී.කේ.පී.දසනායක අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ 2017 ජූලි මස 12 වැනිදාය.

කෙසේ වෙතත් ඝාතන චෝදනාව සම්බන්ධයෙන් තමන් දුන් සාක්‍ෂිය අසත්‍ය බවත් එසේ සාක්‍ෂි දුන්නේ පොලීසියේ බල කිරීමට බවත් පසුගිය නඩු වාරයේදී මෙම නඩුවේ සාක්ෂිකරුවකු වූ බී. විජයකාන්තන් නම් පුද්ගලයා පසුගියදා අධිකරණය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කලේය.

කෙසේ වුවත් දසනායක ඇතුළු සැකකරුවන් අත්තඩංගුවට ගැනීම සම්බන්ධව 2017 ජූලි 16 පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර අවධාරණය කර සිටියේ පුර්ණ පරීක්ෂණයකින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙසේද අදහස් දක්වා තිබිණ.

“දින කිහිපයකට උඩදි අත්තඩංගුවට පත් වුණා ඩී. කේ. පී දසනායක ඔහු එවකට මෙහෙයුම් අධ්‍යක්ෂකව සිටියදි නාවික හමුදාවෙ බුද්ධි අංශයට අමතරව ඔහු යටතේ තවත් කණ්ඩායම් දෙකක් තිබුණා. එම කණ්ඩායම් දෙකින් එකක් බාරව හිටියේ ලෙෆ්ටිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි අනිත් කණ්ඩායම බාරව හිටියේ ලෙෆ්ටිනන් කමාන්ඩර් රණසිංහ. මේ කොමදෝරු දසනායකයකට එරෙහිව පැහැදිළි සාක්ෂි ඉදිරිපත් වෙලා තියනවා. දුරකතන විශ්ලේෂණ ඒවගේම මේ අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් ඇවිල්ලා හම්බවෙලා තියනවා කොමදෝරු දසනායකව ඒ ප්‍රකාශත් පැහැදිළි ව තියනවා. වගකීමෙන් කියන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරපු මේ විමර්ශන වලදි පැහැදිලිව කියන්න පුළුවන් මේ අතුරුදහන් වූ පුද්ගලයින්ව පැහැරගෙන ගිහිල්ලා මෙලෙස අතුරුදහන් කරලා තියෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි මුදල් බලෙන් ලබා ගැනීම සඳහායි. මේ 11 දෙනා කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ පුද්ගලයන් නෙමෙයි.”

“මේ වන විට මේ සිද්ධිය සම්බන්ධයෙන් හත්දෙනෙක් අත්තඩංගුවට අරගෙන තියනවා. ඒ සියලු දෙනාම නාවික හමුදාවේ අයවලුන්. පැහැදිලි විමර්ශනයක් කරලායි අත්තඩංගුවට ගත්තේ. අපි යුක්තිය ඉදිරියට ඉදිරිපත් කරලා තියනවා. ඔවුන්ගේ නිදහසට කරුණු නඩු වලදි කියන්න පුළුවන්.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න