Language Switcher

V2025

බගත් සිං පුරම්හිදී : පලනි දිගාම්බරම්ට මංගලගෙන් සහතිකයක් !

ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය එක්ව කොත්මලේ හැල්බොඩ වතුයායේ ඉදිකරන ලද නිවාස 98 කින් යුතු බගත් සිං පුරම් නව ගම්මානය ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.

පර්චස් 07 ක, වර්ග අඩි 550 ක, මනරම් නිවසක් මෙලෙස ලබා දෙන අතර ඒ සඳහා නිරවුල් ඔප්පු ප්‍රධානය කිරීමද මෙහිදී සිදු කිරීමට නියමිත අතර මෙම නිවාස සඳහා අභ්‍යන්තර මාර්ග, ජලය සහ විදුලියද ලබා දී ඇත. මේ සඳහා වැයකර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 113 කි. ඉන් රුපියල් මිලියන 98 ක් ඉන්දීය රජයෙන් ලබා දී ඇති අතර අමාත්‍යාංශය මඟින් රු මිලියන 15 ක් වියදම් කර ඇත.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර, මෙරට ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු , ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම්, විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් , පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්, අමාත්‍යාංශ ලේකම් ඉන්ජිනේරු අචාර්ය පී සුරේෂ්, නුවර එළිය දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිළධාරීන්, ඇතුළු රැසක් එක්විය.

මේ රජයෙන් වැවිලි ප්‍රජාවට අභිමානවත් ජීවිතයක් ලබාදී තිබෙනවා - මංගල

08

මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ වැවිලි ප්‍රජාවට අභිමානවත් ලෙස ජීවත්වීමට හැකි පරිසරයක් මේ වන විට රජය විසින් උදාකර දී ඇති බවයි. ඒම අභිමානවත් ජීවිතයක් වැවිලි ප්‍රජාවට උරුම කර දීම සඳහා අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කැපවී කටයුතු කරන බව තමන් හොදහැටි දන්නා බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. රටපුරා වැවිලි ප්‍රජාව ජීවත්වන ප්‍රදේශ වල අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා නිවාස ඉදිකරමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ මැයි මාසයේදී මාතර ප්‍රදේශයේද වැවිලි ප්‍රජාවට ගම්මානයක් ඉදිකිරීම සඳහා මුල් ගල් තබන බවයි. ඒන්ටර් ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යට‌තේ වැවිලි කරයේ ජීවත්වන තරුණ තරුණයින්ට ද ණය පහසුකම් ලබා දෙන ස්වයං රැකියා ආරම්භ කිරීමට අවස්ථාව සලසා දෙන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. තිගාම්බරම් අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨ නායකයෙකු බවට අද දවසේද ඔප්පු කර පෙන්වා අවසන් බව අමාත්‍ය මංගල සමරවීර මෙහිදී පෙන්වා දුන්නා. ඒ පක්ෂ පාට බේදයකින් තොරව නිවාස අවශ්‍ය පුද්ලයින්ට නිවාස ලබා දෙමින් බවයි මංගල අමාත්‍යවරයා කියා සිටියේ. අද ලබා දුන් නිවාස 98 න්ද වැඩි පිරිසක් පලනි තිගාම්බරම් මහතාගේ පාක්ෂකයින් නොවන බවද මංගල සමරවීර අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මම බොරු පොරොන්දු දෙන්නේ නෑ - තිගාම්බරම්

11

මෙහදී අදහස් දැක්වූ අමාත්‍ය පලනි තිගාම්බරම්,"අද වතුකරයේ ඇතැම් දේශපලඥයින් නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකරන බවට වතුකරයේ ජනතාවට බොරු පොරොන්දු ලබාදෙනවා. අගමැතිතුමා වතුකරයේ ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා පූර්ණ බලය ලබාදීලා තියෙන්නේ මට. මට හැර වතුකරයේ කිසිවෙකුටත් නිවාස ඉදිකිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අවස්ථාවාදී දේශපාලඥයින්ගේ කතා වලට රැවෙටෙන්නට එපා කියලා මම ඉල්ලා සිටිනවා" යැයි පැවසීය.

වතුකර ජනතාවට ප්‍රජා අයිතිය ලබාදුන්නා - ගයන්ත

10

මෙම රැස්වීමේදී අදහස් දැක්වූ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියාසිටියේ වතුකරයේ ජනතාවට නිසි ප්‍රජා අයිතිය ලැබී ඇත්තේ වත්මන් රජය යටතේ බවයි. වතුකම්කරුවෙකුට ඉඩමක් සහිත නිවසක් සහ එම නිවසට අදාළ හිමිකම් ඔප්පුවද ලැබීම නිසි ප්‍රජා අයිතිය බව යනුවෙනි.

මේ වන විට වැවිලි ප්‍රජාව උදෙසා නිවාස 5000ක් ඉදිකර ජනතා අයිතියට පත් කර ඇත. නිවාස 2000ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙයි. එමෙන්ම ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මඟින් නිවාස 14 000ක් ඉදිකිරීමට නියමිත අතර ඉන් නිවාස 4000ක් ජනතා අයිතියට පත් කිරීමේ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතිනවා.

පර්චස් 07 ක ඉදිකෙරෙන මෙම සෑම නිවසකම අයිතිය අදාළ පුද්ගලයින්ට ලබාදෙමින් නිරවුල් ඔප්පු ලබාදීමේ වැඩසටහනද කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු පලනි තිගාම්බරම්ගේ උපදෙස් පරිදි මේ වන විට සාර්ථකව සිදු කෙරේ.

වැවිලි ප්‍රජාව උදෙසා සිදුකෙරෙන සංවර්ධන කාර්යයන් තවත් වේගවත් කිරීම උදෙසා වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීමද පසුගියදා සිදු කෙරිණ.