Language Switcher

V2025

දෙමළ සැකකරුවන්ට එරෙහි නඩු විභාගය ඇරඹේ : ස්විට්සර්ලන්තයේ උද්ඝෝෂණ

නීති විරෝධී ලෙසින් ඩොලර් මිලියන 15කට වැඩි මුදලක් රැස් කිරීමේ චෝදනාව යටතේ දෙමළ ජාතිකයන් පිරිසකට එරෙහිව නඩු විභාගය ආරම්භවීමත් සමගම එයට විරෝධය පාමින් දෙමළ ජාතිකයන් පිරිසක් අධිකරණය ඉදිරිපස උද්ඝෝෂණයක නිරතව සිටියහ.

ශ්‍රී ලාංකික, ස්විට්සර්ලන්ත සහ ජර්මානු පුරවැසිභාවය හිමි 13 දෙනෙකුට එරෙහි නඩු විභාගය ස්විට්සර්ලන්තයේ බෙලින්සෝනා (Bellinzona) නුවර පිහිටි ෆෙඩරල් අපරාධ අධිකරණය ඉදිරියේ සඳුදා (ජනවාරි 08) ආරම්භ විය.

ස්විට්සර්ලන්තයේ නීතිය ප්‍රකාර සැකකරුවන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කොට නොමැති අතර, ඔවුන්ගෙන් සමහරෙකු ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ (World Tamil Coordinating Committee (WTCC)) සාමාජිකයෝය.

2009 දක්වා ස්විට්සර්ලන්තයේදී දෙමළ විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය නියෝජනය කළ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ නිර්මාතෘවරයා, නියෝජ්‍ය නායකයා සහ මූල්‍ය කටයුතු භාර ප්‍රධානියා ද චුදිතයන් අතර සිටින බව ස්විස්ඉන්ෆෝ (Swissinfo) පුවත් සේවය වාර්තා කරයි.

අධිකරණයට ඉදිරිපත් කල සාක්ෂි ගැටළු සහගතයි :

 නඩු විභාගයේ පළමු දිනයේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් නඩුව විභාග නොකර එය යළිත් නීතිපතිවරයා වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටි බව ස්විස්ඉන්ෆෝ වෙබ් අඩවියේ දකුණු ආසියානු කටයුතු භාර වාර්තාකරු ආනන්ද් චන්ද්‍රසේකර් (Anand Chandrasekhar) බීබීසී සිංහල සේවයට පැවසීය.

"අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන සාක්ෂි විමර්ශනවලින් සොයා ගත් සාක්ෂි නොව, අන්තර්ජාලය සහ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් වූ කරුණු බව විත්තියේ නීතිඥවරුන් පෙන්වා දුන්නා," ඔහු පැවසීය.

"ඒ නිසා තහවුරු කළ නොහැකි එවැනි සාක්ෂි අධිකරණ වාර්තාවලින් ඉවත් කළ යුතු බව ඔවුන්ගේ තර්කය වී තිබුණා."

ස්විට්සර්ලන්ත ෆෙඩරල් අපරාධ අධිකරණයේ වෙබ් අඩවියේ දැක්වෙන පරිදි, "අපරාධ කල්ලියකට සම්බන්ධවීම හෝ සහාය දීමේ" චෝදනාව යටතේ සැකකරුවන් 12 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙන අතර, වංචාව, ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ කළු සල්ලි ජාවාරම පිළිබඳව ද ඔවුන්ගෙන් බහුතරයකට එරෙහිව නඩු පවරනු ලැබ තිබේ.

අනෙක් චෝදනාවලට අමතරව "කප්පම් ගැනීම" විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව එල්ල වී තිබෙන තවත් චෝදනාවකි.

1999 සිට 2009 මැයි මාසය දක්වා සැකරුවන් පිරිස "අපරාධ කල්ලියකට" සහාය දී තිබෙන අතර, බැංකුවලින් ණය ලබාගැනීම පිණිස දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් යොදා ගනිමින් ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක් දියත් කළ බව ද අධිකරණයේ වෙබ් අඩවියේ දැක්වේ.

LTTE : "ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කර නැහැ''

කෙසේ වුවත් එල්ටීටීඊ සංවිධානය ස්විට්සර්ලන්තයේ තහනම් සංවිධානයක් නොවූ බැවින් "ත්‍රස්තවාදී සංවිධානයකට සහයෝගය දීමේ" චෝදනා ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කර නැති බවත් මාධ්‍යවේදී ආනන්ද් චන්ද්‍රසේකර් පෙන්වා දෙයි.

"ඒ වගේම පැමිණිල්ල ඉදිරිපත් කරලා තියෙන පිටු 367ක් පමණ වන චෝදනා පත්‍රයේ ලිපි ගොනු සියල්ල තමන්ට ලැබිල නැති බව විත්ති පාර්ශවය අධිකරණය ඉදිරියේ කියා සිටියා. ඒ නිසා ඒ සම්පූර්ණ ලිපිගොනුව තමන්ට ලබාදෙන්න කියල විත්තිය ඉල්ලා සිටියා."

සිය සේවාදායකයන්ට එරෙහිව "ලෝකේ තියෙන සියලුම චෝදනා" එල්ල කිරීමෙන් තොරව, ඔවුන්ට එරෙහිව ප්‍රධාන චෝදනා පමණක් ගොනු කරන මෙන් ද විත්ති පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටි බවත් ස්විස්ඉන්ෆෝ මාධ්‍යවේදී ආනන්ද් චන්ද්‍රසේකර් බීබීසී සිංහල සේවයට පැවසීය.

එල්ටීටීඊ සැකකරුවන්ට එරෙහි නඩු විභාගය ලබන මාර්තු මාසය දක්වා පමණ පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන බව ජිනීවා නුවර සිටින බීබීසී වාර්තාකාරිය ඉමොජෙන් ෆොක්ස් (Imogen Fowkes) බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

(බීබීසී සිංහල සේවය)