රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය කොන්දේසි ගැන අගමැති කියයි !

රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය කොන්දේසි ගැන අගමැති කියයි !

ලොව සෑම රටක්ම ඵලදායීතාවය කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරියට පැමිණෙ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය හා පුද්ගලික අංශවල නිෂ්පාදනය, තරගකාරීත්වය සහ ඵලදායීතාවය වැඩි කළ යුතු බවත්, ඒ අංශ දියුණු නොකර රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බවත් පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ඵලදායිතා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ එම උත්සවයේ දී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

වසර 72කට පෙර ලංකාවට තිබුණ තැන !

“මීට වසර 72 කට පමණ පෙර ආසියාවේ ප්‍රධානතම රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකුණා. අපි පාසල් යන අවධියේත් ශ්‍රී ලංකාවට ආසියාව තුළ ප්‍රමුඛ ස්ථානයක් හිමිව තිබුණා. ඒ අවධියේ අපේ රටේ තිබූ පරිපාලන සේවය, රාජ්‍ය සේවය, විදේශ සේවය ආසියාවේ අනෙක් රටවල්වලට ආදර්ශයක් වූ බව කිව යුතුයි.

නමුත් අද වන විට ආසියාවේ රටවල් ගණනාවක් අපට වඩා ඉදිරියට ගොස් තිබෙනවා. එම රටවල්වල රාජ්‍ය අංශයත්, පුද්ගලික අංශයත් විශාල වශයෙන් සංවර්ධනය වී තිබෙනවා.

අද වන විට අප්‍රිකාවේ වැවිලි කර්මාන්තය ශ්‍රී ලංකාවට වඩා සංවර්ධනීය මට්ටමකට පැමිණ තිබෙනවා. අනෙක් රටවල් කෘෂි කර්මාන්ත, කර්මාන්ත සහ සේවා අංශයන්ගෙන් ශ්‍රී ලංකාව අභිබවා ගොස් තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ එම රටවල්වල ඵලදායීතාව අපට වඩා සීඝ්‍රයෙන් ඉදිරියට ගොස් තිබීමයි.

එම රටවල් වල පුද්ගලික අංශය වේවා, රාජ්‍ය අංශය වේවා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරඟ කරමින් ඉදිරියට යාමට කටයුතු කර තිබෙනවා. නමුත් අතීතයේ මෙම රටවල්වල පරිපාලන සේවයක් පවා තිබුණේ නැහැ. වියට්නාමය, ප්‍රංශයේ යටත් විජිතයක්ව පැවැති සමයේ පවා නිසි පරිපාලන සේවයක් තිබුණේ නැහැ.

නමුත් අද වන විට ඒ සෑම රටක්ම ඵලදායීතාවයට විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව අපේ රට තුළත් පුද්ගලික සහ රාජ්‍ය අංශවල නිෂ්පාදනය, තරගකාරීත්වය සහ ඵලදායීතාවය වැඩි කළ යුතුයි. ඒ අංශ දියුණු නොකරන්නේ නම් අපට රටක් ලෙස ඉදිරියට යා නොහැකියි. එසේ නම් අපේ පළමු තරගය විය යුත්තේ අපි අතර අපිව දියුණු කිරීමයි. එවිට අපට ජාත්‍යන්තරය ජය ගත හැකියි.

රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ඵලදායීතාව නංවාලීමට සැලසුම් !

රාජ්‍ය අංශයෙන් සහ පෞද්ගලික අංශයෙන් ඵලදායීතාව වර්ධනය කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. අප ආසියාව තුළ ඉදිරියෙන් සිටි කාලයේ අපට පිටුපසින් සිටි රටවල් අප පසුකරමින් ඉදිරියට ගිය ආකාරය සැලකිල්ලට ගනිමින් අප කටයුතු කළ යුතුයි. අපේ පුද්ගලික සහ රාජ්‍ය අංශයේ ඇතැම් ෙක්‍ෂ්ත්‍ර අද ඉදිරියට ගොස් තිබෙනවා. නමුත් සමස්ථයක් ලෙස සියලූ අංශ තවමත් එම දියුණුවට ළඟා වී නැහැ.

එම නිසා රාජ්‍ය සේවයේ ඵලදායීතාවය දියුණු කිරීමට අපි ඇති කර තිබෙන ඵලදායිතා ලේකම් කාර්යාලයෙන් සිදුවන සේවය අපි අගය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සෑම පළාතකම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ඵලදායිතාවය දියුණු කිරීමට මෙවැනි වැඩසටහන් හරහා හැකි වෙනවා. අපට අවශ්‍ය එම දියුණුව ඇති කර ගැනීමයි. අපට රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එම දියුණුව ඇති කර ගන්නවා නම් පමණයි.

එම කටයුතු ඉටු කරන අතරම රටේ සංවර්ධනය වෙනුවෙන් කළ යුතු තවත් කාරණා ගණනාවක් තිබෙනවා. වර්ථමානයේ ආයෝජන අංශය පිළිබඳව අවධානය යොමු කළ විට ආයෝජකයින්ට තම ව්‍යාපාර සඳහා අවසර ගැනීමේ දී දිගු කාලයක් ගත වීම ඇතුලූ ගැටලූ රැසකට මුහුණපෑමට සිදුවෙනවා. නමුත් තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල්වල ආයෝජකයින්ට අවශ්‍ය අනුමැතිය මාසයක පමණ කාලයක් තුළ දී ලැබෙනවා.

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකල හේතුව !

වර්තමානයේ අපේ රටේ බිම් මට්ටමේ ආයතනවල තත්ත්වය සතුටුදායක මට්ටමක තිබෙනවා. එදාට වඩා විශාල සේවයක් අද ජනතාවට එම ආයතන තුලින් ලැබෙනවා. එම නිසා මෙම ඵලදායිතා ඇගයීමේ වැඩසටහන තවත් ශක්තිමත් කළ යුතුයි. ඵලදායිතාවය නිශ්පාදනය දියුණු කිරීමට මෙවැනි තරග අවශ්‍යයි. නමුත් මෙම ඵලදායීතාවය තරගවලට පමණක් සීමා කළ යුතු නැහැ.

අපි රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අවස්ථා 02 කදී කටයුතු කළේ ඵලදායීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණ ඇතිවයි. රජයක් ලෙස අප පළමුවෙන් ඊට අවධානය යොමු කළා. රජයේ සේවය ඩිජිටල්කරණයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. බිම් මට්ටමේ ඇතැම් කාර්යාල මේ වනවිට ඉතා හොදින් ඩිජිටල්කරණයට ලක්වී තිබෙනවා. බිම් මට්ටමේ කාර්යාල එම තත්ත්වයට ලඟා වුණත් අපේ විශාල දෙපාර්තමේන්තු තවමත් එම ඉලක්කය සපුරා ගෙන නැති බවත් පැවසීය යුතුයි. බණ්ඩාරවෙල පශු වෛද්‍ය කාර්යාලයට, කිළිනොච්චිය දිස්ත්‍රික්ක කාර්යාලයට හැකි නම් අනෙක් විශාල ආයතනවලට මෙය කිරීමට නොහැකි ඇයි. අපි ඉදිරියට යා යුතුයි. ඒ සඳහා මෙම වැඩකටයුතු කඩිනම් කළ යුතුයි.

ඒ වගේම අපේ රට තුළ තිබෙන ප්‍රවාහන අපහසුතා විසඳීමටත් අප කටයුතු කළ යුතුයි. ප්‍රවාහන සේවය දියුණු කිරීමට, මාර්ග පද්ධතිය දියුණු කිරීමට අප කටයුතු කරනවා. කොළඹ වටා ඇති මාර්ග පද්ධතිය දියුණු කිරීම වෙනුවෙන් අපි විශාල පරිශ්‍රමයක් දරමින් සිටිනවා. 2021 වන විට මෙම මාර්ග පද්ධතියේ අයිතිය ජනතාවට ලබාදීමට අප කටයුතු කරනවා.

මෙවැනි වැඩසටහන් රාශියක් සිදු කරමින් අප ඉදිරියට යා යුතුයි. විශේෂයෙන් රාජ්‍ය සේවයේ ඵලදායීතාවය පිළිබඳව සෑහීමකට පත් නොවී එය තවදුරටත් වර්ධනය කළ යුතුයි.

මේ ඵලදායීතා වර්ධන වැඩසටහන බාරගෙන තිබෙන රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යතුමාටත් ඒ වගේම මෙම වැඩසටහන යටතේ ජයග්‍රහණයක් ලබා ගත් මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් මම ස්තුතිවන්ත වෙනවා. රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යතුමා රාජ්‍ය සේවය දියුණු කිරීමට විශාල උත්සාහයක් ගන්නවා.

මීට පෙර රජයක් විසින් රාජ්‍ය සේවයට බිම් මට්ටමේ ආයතනවලට වෙන් නොකරන ලද ප්‍රමාණයේ විශාල මුදලක් මෙවර අයවැයෙන් අපි වෙන් කර තිබෙනවා. ගම්පෙරළිය, ග්‍රාම ශක්ති, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, මංමාවත් ඉදිකිරීම, නිවාස ඉදිකිරීම ආදී විශාල වැඩකොටසක් අද බිම් මට්ටමේ සිදු කරමින් තිබෙනවා. රජයේ සියලූ ආයතන සම්බන්ධ කර ගනිමින් විශාල වැඩ කොටසක් අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ආයෝජන වැඩිකර ගැනීමට සහ අපනයන වැඩිකිරීම අපේක්ෂාවයි !

රටට ලැබෙන ආයෝජන වැඩි කිරීමට හා රටේ නිෂ්පාදන අපනයනය වැඩි කිරීමටත් අපි කටයුතු කරනවා. බිම් මට්ටම දියුණු කිරීම, ගෝලීය වෙළෙඳපොළට පිවිසීම යන කටයුතු දෙකම සාර්ථකව ඉටු කර ගැනීම අපේ පරිපාලන සේවයේ ප්‍රධාන අරමුණයි.

අපේ පරිපාලන සේවය යටත් විජිත සමයේ ලෝක ප්‍රසිද්ධියක් ලැබුවා. එකල ලංකාවේ සිවිල් සේවකයෙක් වූ ලෙනාඩ් වුල්ෆ් පිළිබඳව එංගලන්තයේ පළ වූ ලිපියක් මම පසුගිය දා කියවන්නට ලැබුණා. එතුමා පරිපාලනයට වගේම සාහිත්‍යයටත් දක්‍ෂතා දැක්වූ නිලධාරියෙක්. එවැනි නිලධාරීන් අපේ රාජ්‍ය සේවයේ දැනටත් සිටිනවා. ඒ දක්‍ෂතාවයන් ගෙන් අපි ප්‍රයෝජන ගත යුතුයි. ඒ ආකාරයට අපි ඉදිරියට යනවා නම් අපේ ඉදිරි ගමන නතර කිරීමට කිසිවෙකුට නොහැකි බව අවසන් වශයෙන් කිව යුතුයි.”

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න සහ ඵලදායිතා සම්මානලාභී ආයතනයන්හි නිලධාරීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි වී සිටියහ'.

6I5A9385

6I5A9375

6I5A9370

6I5A9349

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න