ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය 03 වනදා අමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති අතර එමීරයේ අගනුවර වන අබුඩාබි නුවරදී මෙම විශේෂ හමුව සිදු වූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති සිරිසේනගේ විශේෂ සංදේශයක් එරට විදේශ අමාත්‍ය අන්වර් බින් මොහොමඞ් ගර්ගාෂ් හමුවේ බාර දී ඇති බවත් වාර්තා වෙයි.
දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතුළු දෙරට අතර බලපාන ද්විපාර්ශවික ගැටලු නිරාකරණය කර ගැනීම් පිළිබඳවද තිලක් මාරපන අමාත්‍යවරයා එමීර් විදේශ අමාත්‍යවරයා සමඟ දීර්ඝ සාකච්ඡා පවත්වා ඇතැයි ද දැනගන්නට ඇත.
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් කිහිපදෙනෙකුම පසුගිය දින කිහිපයේදී නිල දැනුම්දීමකින් තොරව ලංකාවට එවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් පත්ව ඇති අපහසුතාවය සම්බන්ධයෙන්ද විදේශ අමාත්‍යවරයා එමීර් විදේශ අමාත්‍යවරයා හමුවේ කරුණු සැලකර ඇතැයිද වාර්තා වෙයි.
මේ අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ එමීර් විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සිදුවූ මෙම හමුව සම්බන්ධයෙන් එමීර් විදේශ කටයුතු අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ තොරතුරු දක්වා ඇතිර අතර එහි සඳහන් වන්නේද තිලක් මාරපන අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ පණිවිඩයක් එරට විදේශ ඇමති බාර දුන් බවය.

