LTL සමාගමේ තවත් ගේමක් මෙන්න !

LTL සමාගමේ තවත් ගේමක් මෙන්න !

ලංකා විදුලිබල මණ්ඩලයට 63%ක කොටස් අයිතියක් සහිත එල්. ටී. එල් හෝල්ඩින්ස් සමාගමේ, කොටස්කාර සමාගමක් වන ඊසොට් සමාගම, කීපදෙනකුට පමණක් වැඩි කොටස් අයිතියක් සහිතව සිය සමාගම් නාමය වෙනස් කර තිබේ.

ඊසොට් සමාගම 2005 දි පිහිටුවන ලැබ ඇත්තේ කොටස්කරුවන් හත් දෙනකුගෙන් යුතුව රුපියල් හැත්තෑවක මුදලක් ප්‍රාග්ධනය ලෙස යොදමින්ය. එහි ආරම්භක කොටස්කරුවන් හත්දෙනා වුයේ උපාලි දයාරත්න ජයවර්ධන, එම්. ජේ. එම්. මරික්කාර්, ආර්. කේ. පිටිගලගේ, ධම්මික නානායක්කාර, මංජුල පෙරේරා, අනුර විජේපාල යන අයය. ඊසොට් සමාගම පිහිටුවනු ලැබ ඇත්තේ එල්. ටී. එල් සමාගමේ කොටස් වලින් 27%ක් මිලදී ගැනීමේ අරමුණෙනි. එම කොටස් එවකට ABB නමැති සමාගමකට අයත්ව තිබු අතර ඊසොට් සමාගම එල්. ටී. එල් සමාගම හරහා ණයක් ගෙන මෙම කොටස් මිලදී ගෙන තිබේ.

2018 වසරේදී මෙම ඊසොට් සමාගම සිය සමාගම් නාමය පැරදෙව් ලිමිටඞ් (PERADEV LIMITED) නමින් වෙනස් කරගෙන ඇත.

ඒ අනුව එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ පැරණි සමාජිකයින් කිසිවකුත් නැති අතර නව අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස තිදෙනකු පත්කර තිබේ. මෙම සමාගමේ ඡන්ද හිමි නොවන කොටස් හැර ප්‍රාථමික කොටස් ප්‍රමාණය 8698435ක් වන අතර ඉන් කොටස් 6,133,751ක් උපාලි ජයවර්ධන දයාරත්න (2,926,667) එම්.ජේ.එන්.එම්. මරික්කාර් (1,230,592) ධම්මික නානායක්කාර (831,044) රවින්ද්‍ර පිටිගල (1,145,448) සමීර ගනේගොඩ (243 144) අයට හිමිය. එනම් ඡන්දය හිමි ප්‍රාථමික කොටස් වලින් 80%ක පමණය. ඒ අතර ඔවුන්ගේ තවත් සමාගමක් වන ටෙක්ප්‍රෝ ඉන්වෙස්ට්මන්ට් (TECKPRO INVESTMENT) සමාගමට ඡන්දය අහිමි ප්‍රාථමික කොටස් 49900ක් හිමිව තිබේ.

උපාලි ජයවර්ධන දයාරත්න ඇතුළු මෙහි මහ මොලකරුවන් අතීතයේ සිටම එල්. ටී. එල් හෝල්ඩින්ග්ස් සමාගම සහ ඊට අනුබද්ධ සමාගම්හි මූල්‍ය වංචාවන් සිදු කර ඇති බව හෙළිදරව් වී ඇත.

මෙසේ කලින් කලට ඔවුන් සිය සමාගම් නාමයන් වෙනස් කරමින් සිටින්නේ අනාගතයේදී මේ සමාගම් වල අතීතය විමර්ශනය කරනවුන් නොමඟ යැවීමට බව තතුදත් අය කියති.

පැරදෙව් සමාගම ලියාපදිංචියේදී එහි ප්‍රධාන අධ්‍යක්ෂවරයා ලෙස අත්සන් තබා ඇති කුරුකුලසූරිය පෝල් මැල්කම් ප්‍රනාන්දුගේ ජංගම දුරකතන අංකය ලෙස 7543547 අංක 7 කින් යුත් අංකයක් සඳහන් කර තිබීමද සැකයට බඳුන් වේ. එසේම කාර්යාල දුරකතන අංකයක් හෝ විiුත් තැපැත් ලිපිනයක් ද එම අයදුම්පතෙහි සඳහන් නොවේ. මේ සම්බන්ධයෙන් එල්. ටී. එල් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක සමීර ගනේගොඩගෙන් ඇසූ විට පැවසුවේ ඇතැම් පුද්ගලයන්ට වැඩි කොටස් හිමි වීම යම් ක්‍රියාපිළිවෙලක් අනුව කළ කටයුත්තක් බවය.

එසේම අධ්‍යක්ෂවරයාගේ දුරකතන අංකය අංක හතකින් යුතුව සඳහන් කර තිබීම සමාගම් ලේකම්වරයාගෙන් සිදු වූවක් බවය. එසේ නම් අධ්‍යක්ෂවරයා එයට අත්සන් කළේ මේ කිසිවක් නොබලාදැයි විමසූ විට ඔහුගෙන් පිළිතුරක් නොලැබිණි.

[නිමල් අබේසිංහ | රාවය]

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න