අද (21) පෙරවරුවෙහි කිසිවෙකුත් අපේක්ෂා නොකළ ලෙස රටෙහි වැදගත් ආගමික සිද්ධස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක සිදු වී ඇති පිපිරීම් සිද්ධි පිළිබඳව දැඩි බලවත් කනගාටුව පලකර සිටින බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.
මේ මොහොතේ මෙම තත්වය කිසියම් ජාතියකට හෝ ආගමකට එරෙහි වූ විපතක් නොව අපගේ ආදරණීය මාතෘභූමියටත් සහෝදරත්වයෙන් බැඳුනු සකල විද ශ්‍රී ලාංකික ජනතාවටත් මුහුණ දීමට සිදු වූ බරපතල විපතක් බව පැහැදිළිය. උද්ගත වී ඇති මෙම තත්වය තුළ ඉතා අවබෝධයෙන් , වගකීමෙන් සහ සහෝදරත්වයෙන් යුත්තව සාමකාමීව කටයුතු කිරීම තුළින් මෙම මිලේච්ඡ ක්‍රියාදාමයේ අවසන් අරමුණු ඉඳුරාම ව්‍යවර්ථ කළ හැකිවනු ඇත.
එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස මනුෂ්‍යත්වයේ නාමයෙන් ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව මෙම විපතට මුහුණ දීමට එක්වන ලෙස සමස්ථ රටවැසියන්ගෙන් කාරුණිකව ඉල්ලාසිටීමි.
අපගේ එක්සත් බව තුළ මෙම කුරිරු ප්‍රහාරයට වගකිව යුතු ම්ලේච්ඡ බලවේග අප ආදරණීය මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා දිවි හිමියෙන් කැප වන බව ප්‍රකාශ කර සිටිමු.
ගරු විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
රවී කරුනානායක

