ආරක්ෂක අමාත්‍යාංශය වගකීම් පැහැර හැරලා !

ආරක්ෂක අමාත්‍යාංශය වගකීම් පැහැර හැරලා !

එල්ලවිය හැකි ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශ කලින් තොරතුරු ලබාදී තිබුණත් ඒ පිළිබඳව තමන් හා අමාත්‍යවරුන් දැනුවත් කර නොතිබුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ පිළිබදව සොයා බලන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියි.

මේ අතර ජනාධිපති සිරිසේන තිරුපති වන්දනාවෙන් පසුව සිංගප්පූරුව බලාගොස් ඇති නමුත් ජාතික ආරක්ෂාව සම්බන්ධව වගකීම් කිසිවෙකුටත් පවරාගොස් නොමැති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධව සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි තුළ විශේෂ අවධානයක් යොමුව ඇති බවක්ද පෙනෙන්නට ඇත.

එසේම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර අවධානමක් සම්බන්ධව විශේෂ ආරක්ෂක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර ඇති නමුත් ආරක්ෂක අමාත්‍යාංශ ඒ සම්බන්ධව වගකීමෙන් යුතුව කටයුතු කර නොමැති බවටද විවේචන එල්ල වෙමින් තිබේ.

කෙසේ වුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආරක්ෂක ප්‍රධානීන් කැදවා තත්ත්වය සම්බන්ධව සාකච්ඡා කර මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාකල ආකාරය සම්බන්ධව ආරක්ෂක අංශවලද පැසසුමට ලක්ව ඇති බවත් වාර්තා වෙයි.

අගමැති මැදිහත් වෙයි !

අද පෙරවරුවේ බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහි වත්මන් තත්ත්වය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලූවේය.

සවස 2.00 ට පමණ කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථානය වෙත පැමිණි වික්‍රමසිංහ මහතා එහි පූජකතුමන්ලා සමග සිද්ධිය සම්බන්ධව සාකච්ඡා කළේය.

අනතුරුව මීගමුව, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත පැමිණි රනිල් වික්‍රමසිංහ, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ඇතුලූ එම දේවස්ථානයේ පූජකතුමන්ලා සහ දේශපාලන ක්‍රියාකාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

දිවයිනේ දේවස්ථාන සහ තවත් ස්ථාන කිහිපයක බෝම්බ පිපිරීමෙන් සිදුව තිබෙන ජීවිත හානි හා දේපොළ හානි පිළිබඳව මෙන්ම ඉදිරියේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මීගමුවේ, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී මාධ්‍යවේදීන් අමතමින් ස්ථාන කිහිපයක අද සිදුවූ පිපිරීම් නිසා ජීවිත හානි වූ සියලූ දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාටත්, තුවාල සිදුවූ සියලූ දෙනාටත් රජයේ කණගාටුව පළ කර සිටින බව පැවසීය.

මෝදිගෙන් රනිල්ට ඇමතුමක් !

මෙම සිද්ධීන් සම්බන්ධව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමන් සමග දුරකථනයෙන් සාකච්ඡා කළ බවත්, එහිදී ඉන්දියාවෙන් අවශ්‍ය ඕනෑම සහයෝගයක් ශ්‍රී ලංකාවට ලබා දීමට සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මෙහෙමුඩ් ක්වරේෂි මහතා ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කරමින් පාකිස්ථානයේ කණගාටුව පළ කර සිටියේය.

එජාප නායකයන් මැදිහත් වෙලා !

FB IMG 1555860753074

මීගමුවේ, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පිපිරවීම සම්බන්ධව සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, හර්ෂණ රාජකරුණා, පළාත් සභා මන්ත්‍රීවරුන් වන රෝස් ප්‍රනාන්දු, කිත්සිරි මංචනායක, රොයිස් විජිත ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

මේ අතර උද්ගතව තිබෙන තත්ත්වය හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (22) දින අරලියගහ මන්දිරයේ සහ අනෙකුත් ප්‍රදේශවල පැවැත්වීමට සූදානම් කර තිබූ සියලූ වැඩසටහන් අවලංගු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න