Language Switcher

V2025

පාස්කු ඉරිදා ප්‍රහාරය : NTJ නායක සහරාන් මියගියේ ද යන්න "ප්‍රශ්නාර්ථයක්"

පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ බවට සැක කෙරෙන ජාතික තව්හිත් ජමා'අත් සංවිධානයේ (NTJ) නායකයා ලෙස සැලකෙන මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් එම මරාගෙන මැරෙන ප්‍රහාර වලින් මියගියේ ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක් බව ආරක්ෂක අංශ පවසති.

බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ පරීක්ෂණවලටට සම්බන්ධ ආරක්ෂක ප්‍රධානියෙක් පැවසුවේ එම පුද්ගලයා මෙම බෝම්බකරුවන් අතර සිටින බවට තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවය.

අද (අප්‍රේල් 24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගෙන් මේ බව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, "මෙම කණ්ඩායමට නායකත්වය දුන් පුද්ගලයා මිය ගිය බව පමණක් මට තහවුරු කළ හැකියි," යනුවෙනි.

එම පුද්ගලයා ජාතික තව්හිත් ජමා'අත් සංවිධානයේ (NTJ) නායකයා ලෙස සැලකෙන මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් ද යන්න විමසූ විට ඔහු පැවසුවේ ඒ ගැන තමන්ට ප්‍රකාශයක් කළ නොහැකි බවය.

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත්තේ මෙම මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් නැමැත්තා බවට මාධ්‍ය වාර්තා කරන නමුත් පොලිසිය පවසන්නේ එම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකර ඇත්තේ වෙනත් පුද්ගලයෙක් බවය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9 දෙනෙකු මෙම ප්‍රහාර වලට සම්බන්ධ වී තිබෙන අතර, එයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද බලධාරීහු පවසති.

මේ අතර බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසුවේ එම 9 දෙනා අතර කාන්තාවක් ද සිටින අතර ඇය දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමට යාමේදී බෝම්බය පුපුරුවාගත් බවය.

 මෙතෙක් හෙළි වූ වැදගත් තොරතුරු:

  • ප්‍රහාරකයින් 9 දෙනාගෙන් 8 දෙනෙක් හඳුනා ගැනේ
  • - එක් ප්‍රහාරයක් සිදු කළේ කාන්තාවක්
  • - විදේශික කිසිවෙක් ඒ අතර නැත
  • - "ත්‍රස්ත තවදුරටත්" තිබෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති පවසයි
  • - 60 දෙනෙක් පොලිස් අත්අඩංගුවේ

police search 1000px

60ක් අත්අඩංගුවට:

 පාස්කු ඉරුදින (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ආරක්ෂක බලධාරීන් මේ වනවිට 60 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.

"පුද්ගලයින් 60ක් දැනට අත්අඩංගුවට පත්වී තිබෙනවා. ඔවුන්ගෙන් 32 දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට දැඩි ලෙස ප්‍රශ්න කරමින් සිටිනවා. තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අඟහරුවාදා (අප්‍රේල් 23) රාත්‍රියේ පමණක් බේරුවල, අළුත්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

බදාදා දිනයේදීත් (අප්‍රේල් 24) සෝදිසි මෙහෙයුම් ගණනාවක් සිදු කරමින් සිටින බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විමසිල්ලෙන් සිටිමින් ආරක්ෂක අංශවලට සහය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය..

මේ වන විට මෙම ප්‍රහාරවලින් මියගිය පිරිස 359 දක්වා ඉහළ ගොස් තිබේ.

(බීබීසී සිංහල සේවය)