Language Switcher

V2025

ගමන් යද්දී බුර්කාව එපා : උලම සංවිධානය දන්වයි !

රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප‍්‍රසිද්ධ ස්ථානවල ගමන් බිමන් යාමේදී මුහුණු ආවරණ ඉවත් කරගෙන යන ලෙසට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය (සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා) සියලුම මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලිමක් කරයි.

බුර්කාව සම්බන්ධයෙන් කිසිදු නීතියක් පනවා නොමැති බවත් එය පැළඳ සිටීම හෝ නොසීටීම එම කාන්තාවන්ගේ රැචිකත්වය මතසිදුකරන බවත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ තරුණ කටයුතු ලේකම් අර්කම් නුරාමිත් මවුලවි පැවැසීය.

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය මිලිගාවත්තේ පිහිටි එහි මූලස්ථානයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අර්කම් නුරාමිත් මවුලවි මෙසේද කීය.

‘‘බුර්කාව පිළිබඳ අපේ ප‍්‍රකාශය තමයි මේක සංස්කෘතියක්. ඒ වගේම සෑම දෙනාගේම පෞද්ගළික අයිතිවාසිකමක්.

අපි මෙතන සංවිධානයක් විදියට ආගමික නායකයන් විදියට ප‍්‍රචාරය කරලා නෙමෙයි ඒ අය බුර්කාව දාන්නේ. එහෙම දානවනම් සමස්ථ මුස්ලිම් කාන්තාවන් එය පලදින්න ඕන. අපි කියලා නෙමෙයි මේ කලු පාටින් මුහුණ ආවරණය කරන්නේ. ඒක ඒ අයගේ කැමැත්ත මත මොකක්ද හොඳ කියලා හිතලා දාගෙන යනවා.

නමුත් මේ අවස්ථාවේදී මේ මුහුණු වහගෙන යන අය පිටුපස්සේ කවුද යන්නේ කියලා මහජනතාව බියට පත්වෙලා තියෙනවා. සැකෙන් ඉන්නවා. ඒ නිසා මහජනයාගේ ආරක්ෂාව සඳහාත් අපේ රටේ ඉන්න ආරක්ෂක අංශ වලට සහයෝගය දීම සඳහාත් මේ කාලයේ පොදු ස්ථාන වලට යනවනම් මුහුණ ආවරණය කරන්න එපා කියලා. ඒ මුහුණ ආවරණය කරගෙන යන කාන්තාවන්ගෙන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා.

ඒ වගේම තමන්ගේ හැඳුනුම්පත අරගෙන යන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී ආරක්ෂක අංශයට සහයෝගය ලබා දෙන ලෙසත් අපි කාන්තාවන්ගෙන් කාරුණික ඉල්ලිමක් කරනවා‘‘