දේවස්ථාන සහ හෝටල්වලට එල්ලවුණු අන්තවාදී ප්‍රහාරයන් වළක්වා ගනිමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත්වීම පදනම්කරගෙන පොලීසියේ උසස් නිලධාරීන් අට දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිසම ඊයේ (25) ස්ථානමාරුවීම් ලබා දී ඇත.
ඒ අනුව බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා වයඹ පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙස මාරුකර ඇත. වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන බස්නාහිර පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර තිබේ.
ඊට අමතරව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථාන ප්‍රවර්ථන අංශයට මාරුකර යවමින් එහි සේවයේ නිරතව සිටින නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.
ගම්පහ දිස්ත්‍රික් බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පුත්තලම දිස්ත්‍රික්කයට මාරුකර යවා ඇති අතර, එහි පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටින චම්පික සිරිවර්ධන මහතාව ගම්පහ දිස්ත්‍රික් පොලිස් ප්‍රධානියා ලෙස පත්කර තිබේ.
කොළඹ මධ්‍යම කොට්ඨාසය බාර පොලිස් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ මහතා ඇල්පිටිය කොට්ඨාසයට මාරුකර ඇති අතර, ඇල්පිටිය කොට්ඨාසසය බාර පොලිස් ප්‍රධානී පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කොළඹ මධ්‍යම කොට්ඨාස බාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර ඇත.
මීගමුව කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරාල මහතා ත්‍රිකුණාමලයට මාරුකර යවා ඒ වෙනුවට ත්‍රිකුණාමලය පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි කපිල කඩුපිටිය මහතා මීගමුවට පත්කර තිබේ.
කොළඹ උතුර කොට්ඨාසය බාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා සීතාවක පොලිස් කොට්ඨාසයට මාරුකර යවමින් එහි පොලිස් ප්‍රධානියාලෙස සේවයේ නිරතව සිටින පොලිස් අධිකාරී උපාලි චන්දන මහතා කොළඹ උතුර පොලිස් කොට්ඨාස ප්‍රධානියා ලෙස පත්කර ඇත.
මෙසේ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථානමාරුවීම් ලබාදීමට සිදුවූයේ එම නිලධාරීන් ජාතික ආරක්ෂාව නැමැති අවශ්‍යතාව ඉටුකිරීමට නොකිරීම නිසා බව ජාතික පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
(දිනමිණ)

