Language Switcher

V2025

නයා මරන්න ඇණකොණ්ඩා හවුල්කර ගැනීමක්!

ආණ්ඩුව අයි.එස්. මර්දනයට විදේශ ඔත්තු සේවා කැදවීමෙන් කරන්නෙ නයා මරන්න ඇණකොණ්ඩා හවුල්කර ගැනීමක් වැනි ක්‍රියාවක් බව ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර අතර වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

පසුගිය 21 වැනි ඉරිදා ප‍්‍රහාර සිදුවීමෙන් 359ක් මරණයට පත් වී තිබෙනවා. මේ තරම් මරණ සංඛ්‍යාවක් සිදුකළ මේ විනාශයෙන් පස්සෙ දේශපාලන නායකයන් කඑකිනෙකාට බොලෙ පාස් කරමින් ඉන්නවා, මේ සම්බන්ධ වගකීම භාරගන්න කවුරුත් නෑ. සිදුවීම වුණාට පස්සෙ මුලින්ම හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මාධ්‍ය හමුවක් පවත්වලා කිව්වෙ මේ සිදුවීම සම්බන්ධ වගකීම අගමැති රනිල් වික‍්‍රමසිංහ භාරගත යුතුයි කියලා. මේ ප‍්‍රහාරය ගැන ආණ්ඩුව දැනගෙන ඉදලා ජනතාවට කිව්වෙ නෑ කියන චෝදනාව ඔහු කළේ. එහෙත් මේ ප‍්‍රහාර ගැන අනතුරු ඇගවූ බුද්ධි අංශ නිවේදනය විපක්ෂ නායක හැටියට ඉන්න, හිටපු ජනාධිපතිවරයට දන්වා ඇති බව සදහන් වෙනවා. එහෙම තියෙද්දි එයා අනුන්ට බෝලෙ පාස්කරන්න මාධ්‍ය හමුවක් තියන්නෙ.

ඒ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් පාස්කු දේව මෙහෙයට මහින්ද රාජපක්ෂගෙ බිරිය ශිරන්ති රාජපක්ෂ සහභාගි වෙනවා. නමුත් පසුගිය ඉරිදා ඇය දේව මෙහෙයට ගියේ නෑ. ඒ අනුව, මෙහෙම අවදානමක් තිබෙන බව ඇය දැනුවත් වී සිටි බව පැහැදිලියි. නමුත් විපක්ෂ නායකවරයා දැනගෙන මේ බව කියන්න ජනතාවට අනතුරු අගවන්න ටයුතු නොකර අනුන්නට බෝලෙ පාස් කරනවා. හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රිවරයා කියපු විදියට එයාගෙ තාත්තත් මේ ගැන අනතුරු ඇගවුව නිසා එයා මේක දැනගෙන තියෙනවා. එතකොට දැන් මේ අනතුර ගැන දැනගෙන හිටියෙ නැත්තෙ එදා පාස්කු දේව මෙහෙයට සහභාගි වෙලා ආපදාවලට ලක්වුණ ජනතාව විතරයි. දැන් විපක්ෂ නායකයා බොලේ පාස්කරපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මොකද කියන්නෙ? එයා කියනවා පහුගිය ඔක්තෝබර් 26 වැනිදායින් පස්සෙ ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලටවත් එයාට එන්න කිව්වෙ නෑ කියලා.

ශිරන්තිත් පල්ලි ගිහින් නෑ !

මේ ප‍්‍රහාර ගැන වගකීමෙන් නිදහස් වෙන්න රටේ අගමැති කියනවා, එයා ආරක්ෂක මණ්ඩලයට සහභාගි කරගත්තෙ නෑ කියලා. අගමැතිවරයට නිල බලයෙන් ආරක්ෂක මණ්ඩල රැුස්වීමට වගකීමක් තිබෙනවා. ආරාධනාවක් අවශ්‍ය නෑ, එතැනට සහභාගි වෙන්න කවුරුහරි බාධා කරනවා නම් ඒක ජනතාවට කියන්න ඕන. ඔක්තෝබර් 26 ඔහුව අගමැතිධුරයෙන් බවත් කළාම ඔහු බලහත්කාරයෙන් අගමැති ලෙස කටයුතු කළා, බලහත්කාරයෙන් අරලියගහ මණ්ඩලයේ රැඳී සිටියා, බලහත්කාරයෙන් ඇමති මණ්ඩලය රැස්වීම් පැවැත්වුවා. ඒ ඔක්කොම කරලා ආරක්ෂක මණ්ඩලයට සහභාගි වෙලා නෑ. ඒ නිසා රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙස වගකීමෙන් නිදහස් වෙන්න බෝලෙ පාස් කළේ ජනාධිපතිවරයට. ජනාධිපතිවරයා බෝලෙ පාස්කරන්නෙ නිලධාරින් මතට. එයා කියනවා මෙහෙම ප‍්‍රහාරයක් ගැන මම දන්නෙ නෑ කියලා. දැන් ඊයෙ පාර්ලිමේන්තුවේ වාද කළේ මේ ප‍්‍රහාර සම්බන්ධ අනතුරු ඇගවීම් ලැබුණේ අපේ‍්‍රල් 4 වැනිදාද 9වැනිදාද කියලා. අපේ‍්‍රල් 9 වැනිදා ලැබුණා කියලා හිතමු. එදා ඉදලා 21 වැනිදා වෙනතුරු දවස් 12ක් ආණ්ඩුව මොකද කළේ? මේ සම්බන්ධව පියවර ගන්න මේ තරම් කාලයක් තුළ බැරි වුණේ ඇයි? විපක්ෂ නායකවරයා අගමැතිට බෝලෙ පාස්කරනවා. අගමැති ජනාධිපතිට පාස්කරනවා, ජනාධිපතිවරයා වගකීම සම්බන්ධ බොලෙ පාස්කරන්නෙ පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින්ට. පොලිස්පතිවරයා බෝලෙ බිම දාලා. එයා කියනවා මමත් මාස 4කින් ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි වෙලා නෑ කියලා. එහෙම නම් කවුද මේ මරණවල වගකීම භාරගන්නෙ? ජාතික ආරක්ෂාව ගැන කිව්වට දැන් එහෙම ආරක්ෂාවක් තිබිලා නෑ. ඒ නිසා මේ අය ජාතික ආරක්ෂාව කියලා කියන්නෙ ප‍්‍රභූන්ට. ආරක්ෂා වෙන්න කියලා කිව්වෙ ප‍්‍රභූවරුන්ට පමණයි. අනතුරු ඇගවීමක්වත් ජනතාවට නිකුත් කළේ නෑ. පල්ලිවල මෙහෙම දෙයක් වෙයි කියලා අවම අනතුරු ඇගවීමක් කරන්න කවුරුවත් වගකීමෙන් කටයුතු කළේ නෑ. විපක්ෂ නායකවරයා, විපක්ෂ නායක බිරිඳ, හරින් ප‍්‍රනාන්දුගෙ පියා, එයාට දුරකථනයෙන් කතා කරපු පොලිස් ප‍්‍රධානින් වගේ අය මේ ගැන දැනගෙන ඉදලා තියෙනවා. ජෝන් අමරතුංගත් මේ වගේ අනතුරක් වෙන්න යනවා කියලා දැනගෙන ඉදලා. මනෝ ගනේෂන් ඇමතිවරයගේ ආරක්ෂාවට ඉන්න සාමාන්‍ය පොලිස් නිලධාරිනුත් මේ ගැන දැනගෙන ඉඳලා තිබෙනවා.

හදීසි නීතිය ගෙනත් මොකක්ද කරන්නේ ?

අපි දන්නවා අවුරුදු 32ක් පැවැති යුද්ධයෙත් බෝම්බ පිපිරෙන කොට මරණයට පත් වුණේ සාමාන්‍ය ජනතාව. එදත් ඒ අය ආරක්ෂා කරන්න කවුරුත් හිටියෙ නෑ. මේ වනවිට ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරිත්වයක් තුළ මරණයට පත් වෙන්නෙත් සාමාන්‍ය ජනතාව පමණයි. නායකයො කියන අය ප‍්‍රභූවරු ආරක්ෂා වෙන්න වේලාසනින් පියවර ගන්නවා. දැන් ජාතික ආරක්ෂාව කියලා බිලියන ගණන් මුදල් වෙන්කරලා ප‍්‍රභූවරුන්ට ආරක්ෂාව සලසනවා. ජනතාව මර්දනය කරන්නත් ඒ මුදල් වියදම් කරනවා. ත‍්‍රස්තවාදය ම්රදනය කරන්න කියලා එදා ඉදලා කළේ මර්දනකාරී නීති සම්මත කරන එකයි. ප‍්‍රතිත‍්‍රස්ත පනත ගෙනත් මේ අය ජනතාවගේ අයිතිවාසිකම් අහෝසි කරන්න පියවර ගන්නවා. හදිසි නීති ගෙනත් මොකද මේ අය කරන්නෙ? මිනිස්සු බුරුතු පිටින් අත්අඩංගුවට ගන්න, වධහිංසා කරන්න, දින 90ක් සිරකරගෙන ඉන්න අවශ්‍ය පසුබිමයි සකස් කරන්නෙ. ජනතාව ආරක්ෂා වෙන්නෙ නෑ ඒ මර්දනය තුළ පීඩාවට වදවේදනාවලට ලක් වෙන එකයි සිදුවෙන්නෙ. වධ දෙමින් ලබාගන්න කට උත්තර වරදකරුවන් කරන්න පාවිච්චි කරනවා. මේ ප‍්‍රහාර පාවිච්චි කරලා ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්මත කරන්න යනවා. ඒ මර්දන පනතක් බව තොරතුරු සහිතව අපි කරුණු දක්වලා තියෙනවා. ඒ නිසා බෝම්බවලට අහුවෙන්නෙත් සාමාන්‍ය ජනතාව බෝම්ම ප‍්‍රහාර නිසා ඇතිවන මර්දනයට ගොදුරුවෙන්නෙත් සාමාන්‍ය ජනතාව.

හේමසිරි හිතුවේ කොහොම ගහයි කියලද ?

අපි ආණ්ඩුවට බල කරන්නෙ එක එක්කෙනාට බොලෙ පාස් නොකර කවුද මේකට වගකිවයුතු කියලා වහාම හෙළි කරන්න. ආරක්ෂක ලේකම්වරයා කියන්නෙ අප දැනගෙන හිටියා, මෙච්චර ගහයි කියලා දැනගෙන හිටියෙ නෑ. එතකොට කොච්චර ගහයි කියලද හිතාගෙන හිටියෙ? අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ප‍්‍රහාරයකට සූදානම් වෙනවා කියන කොට ආරක්ෂක අමාත්‍යංහයෙ ලේකම්වරයා හිතලා තියෙන්නෙ කොච්චර ගහයි කියලද?

අගමැතිවරයා ඊයෙ පාර්ලිමේන්තුවේ කරපු ප‍්‍රකාශය අනුව, අයිඑස් සංවිධානය මේ ප‍්‍රහාරයට සම්බන්ධ නිසා එක්සත් ජනපදයෙ, යුරෝපා බලවතුන්ගෙ බුද්ධි අංශ, ආරක්ෂක හමුදා මේ රටට ගෙන්වා ගන්න ආණ්ඩුව සූදානම් වෙන්නෙ. මේ කියන්නෙ නයා මරන්න, ඊට වඩා විෂඝෝර ඇණකොණ්ඩෙක් ගෙන්වා ගන්න කතාවක්. ආගමික මූලධර්මවාදයයි, අධිරාජ්‍යවාදයයි එකට සම්බන්ධයි. 1990ට කලින් මෙවැනි ආගමික අන්තවාදයක් ලෝකයෙ තිබුණෙ නෑ. කොමියුනිස්ට්වාදයයි අධිරාජ්‍යවාදයයි අතරෙ තමයි ඒ වනවිට සීතල යුද්ධය තිබුණෙ. සෝවියට් කදවුර බිද වැටිලා ලෝක කම්කරු ව්‍යාපාරය දුර්වල වුණාට පස්සෙ අධිරාජ්‍යවාදය පවත්වාගෙන යන්න අලූත් සතුරෙක් ඕන වුණා. සැමුවෙල් හන්ටින්ටන් කියන චින්තකයා මේ ගැන ගිවුවෙ මින් ඉදිරියට ලෝකයෙ පන්ති ගැටුමක් නෑ, ශිෂ්ටාචාර ගැටුමක් ඇතිවෙන්න නියමිතයි, කියලා. ඔහු ලිව්වා පොතක් Clash of the Civilizations (ශිෂ්ටාචාර ගැටුම) කියලා. එහිදී අමෙරිකානු ක‍්‍රිස්තියානි ශිෂ්ටාචාරය හා මැදපෙරදිග ඉස්ලාම් ශිෂ්ටාචාරය අතර ගැටුම තමයි ප‍්‍රධාන වෙන්නෙ කියලා ඔහු කිව්වා. ඔහ් මේ ඔක්කොම වෙන්න කලින් පොතක් ලියන්නෙ නිකං නෙවෙයි. ඔහු අමෙරිකානු ඔත්තුසේවා නිලධාරියකු ලෙස කටයුතු කළ කෙනෙක්. ඉන්පස්සෙ එකසත් ජනපද හමුදා තෙල් හොයාගෙන මැදපෙරදිග රටවල් ආක‍්‍රමණය කළා. ඉරාකයට ගැහුවා, සිවිල් වැසියන් ඝාතනය කළා, ඉරාකයෙ වටිනා කෞතුක වස්තු කොල්ල කෑවා, විනාශ කළා, තෙල් සම්පත් අත්පත් කරගත්තා, ඇෆ්ඝනිස්ථානයට ගැහුවා, අත්පත් කරගත්තා. ඇෆ්ඝනිස්ථානයේ භූ සිතියම වෙනස් කරමින් කදු පාත් කරමින් දැවැන්ත ප‍්‍රහාර සිදුකරලා මිලියන් ගනන් ඝාතනය කළා. ලෙබනනයෙ මැරුවා, සිරියාවෙ යුද්ධය පටන් ගත්තා. ලිබියාව ඇතුළු රටවල් ගණනාවක එක්සත් ජනපදයට වාසිදායක දේශපාලන නායකත්වයන් ස්ථාපිත කළා.

මුස්ලීම් අන්තවාදී සංවිධාන හැදුවේ ඇමරිකාව !

මේ යුද්ධය තවම අවසන් නැහැ. මේ තත්වයට ප‍්‍රතිචාරාත්මක ලෙස පැන නැගුණ දෙයක් තමයි ඉස්ලාම් අන්තවාදය. මේ අන්තවාදි සංවිධානත් අමෙරිකා එක්සත් ජනපයෙන් ගොඩනගපු ඒවා. ඒගොල්ලන්ගෙන් උදව් ගන්න කලින් ඒවා මතක් කරගන්න ඕන. ඇෆ්ඝනිස්ථානයේ සෝවියට් හිතවාදි පාලනය බිද දමන්න මේ සංවිධාන ඇති කළේ. තලේබාන් ගරිල්ලන් එක්සත් ජනපදයෙන් ආධාර, පුහුණුව ලබා දිලා බිහි කළේ. සෝවියට් දේශය බිඳ වැටුණට පස්සෙ කාබුල් නගරයට ආව තලේබාන්වරු ඇෆ්ඝන් ජනාධිපති නජිබුල්ලා මරලා කාබුල් නගරයේ එල්ලූවා. ඒ බලය අත්පත් කරගන්න ඔවුන්ට හැකියාව ලැබුණෙ අමෙරිකා එක්සත් ජනපදයෙ ආධාරයෙන්. ඉන්පස්සෙ අල්කයිඩා එක හැදුවෙ, ඔසාමා බින් ලාඩන් පුහුණු කලේ එක්සත් ජනපදයෙන්. එක්සත් ජනපදය මැදපෙරදිග ආක‍්‍රමණය කළාට පස්සෙ ඒ සංවිධාන එක්සත් ජනපදයට විරුද්ධව කටයුතු කළා. ඉන්පස්සෙ අල්කයිඩා ඇතුළු බිහිවුණ ඉස්ලාමීය අන්තවාදීන් යටත් කරගන්න බැරිවුණාම අයි.එස්.එයිඑස්. සංවිධානය යටතේ ඒක කරන්න ඒ සංවිධානය හැදුවෙත් එක්සත් ජනපදය. මේ නිසා අධිරාජ්‍යවාදදයෙන් මේ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය මර්දනය කරන්න ආණ්ඩුව හිතනවා නම්, ඒක නයා වෙනුවට ඇණකොණ්ඩා ගෙන්වා ගැනීමක්.

ISIS ඇයි ලංකාව තෝරගත්තේ ?

අනෙක් එක අයි.එස්.එයිඑස්. සංවිධානය ප‍්‍රහාරයට ලංකාව තෝරාගත්තෙ ඇයි කියන ප්‍රශ්නය අපිට වැදගත් වෙනවා. ලංකාවෙදි ඉස්ලාමය හා කතෝලිකයන් අතර ගැටුමක් තිබුනෙ නෑ. ඒක අපි කවුරුත් දන්න ඇත්තක්. නමුත් අයි.එස්.එයිඑස්. සංවිධානය ලංකාවෙ ප‍්‍රහාරය සම්බන්ධ වගකීම භාරගනිමින් නිවේදනයකින් කියලා තිබුණෙ කුරුසකරුවන්ගෙ සන්ධානයට මේ ගැහුවෙ කියලා. ඒ කියන්නෙ අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ගැනයි. ඉන්දිය සාගර කලාපයේ භූ දේශපාලන ගැටුමකදි ලෝක බලවතුන්ට ලංකාවෙ භූමිය පාවිච්චි කරන්න මේ රටේ පාලකයන් විසින් ඉඩ සැලසුවාම අපි මින් පෙර ඒ ගැන කිහිප වතිවක්ම අනතුරු ඇගවුවා, ඒ භයානක සෙල්ලම කරන්න එපා, ඒක ලංකාවෙ ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවන්න වෙන තීරණයක් කියලා. 2007 මාර්තු 5වැනිදා මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ගෝඨාභය රාජපක්ෂ විසින් රොබට් ඕ බ්ලේක් සමග අත්සන් කළ ACSA ගිවිසුමෙන් මේ ආකාරයට ලංකාව යුද සැපයුම් ස්ථානයක් බවට අමෙරිකාවට ලියලා දුන්නෙ. වත්මන් අගමැති ඒ ගිවිසුම අනන් කාලයකට දීර්ඝ කළා. ඒ යටතේ ලංකාව ඒකසත් ජනපද හමුදාවලට මේ රට අවට මිලිටරි මෙහෙයුම්වලදි අවශ්‍යවන වතුර බිංදුවෙ සිට සියලූම මිලිටරි ආම්පන්න, රෝහල් පහසුකම් දක්වා සියල්ල සැපයීමේ වගකීමක් භාරගෙන තිබෙනවා. ලංකාවෙ තියෙන ඒවා වෙන්න පුලූවන්, අමෙරිකානු හමුදා සැපයුම් යාත‍්‍රාවලට ඇතුළු වෙන්න ඉඩදීමෙන් වෙන්න පුලූවන්, යුද මෙහෙයුම්වලට පහසුකම් සලසා දෙන වගකීම ලංකාවෙ පාලකයන් මහින්ද රාජපක්ෂ, රනිල් වික‍්‍රමසිංහ ගිවිසුම් මගින්ම භාරගෙන තිබෙනවා.

ඇමරිකානු ආරක්ෂක ගිවිසුමේ අර්බුදය !

මේ ගිවිසුම් නිසා අමෙරිකාවට විරුද්ධවාදින් ලංකාව සතුරෙක් ලෙස භාරගෙන ලංකාවට ගහන්න ඉඩ තියෙනවා කියලා අපි කියද්දි රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවට කිව්වෙ මේකෙන් ලංකාවට සල්ලි හම්බ වෙනවා කියලා කිව්වෙ. දැන් සල්ලි හම්බ වෙනවා වගේම හම්බ වෙන අනෙක් දේවල් අපි අත්විදිමින් ඉන්නවා. පහුගිය මාර්තු 19 වැනිදා ලංකාවෙ මුහුදු සීමාව පාවිච්චි කරලා ඕස්ටේ‍්‍රලියා හමුදා භටයන් දහසක් හා යුද නෞකා 4ක් සමග දැවැන්ත යුද අභ්‍යාසයක් කළා. ඒ මෙතෙක් ලංකාවෙන් වෙනත් රටක් සමග කළ දැවැන්තම යුද අභ්‍යාසය බවට වාර්තා වුණා. අපි දන්නවා ඕස්ටේ‍්‍රලියාව එක්සත් ජනපදයෙ සහායක රටක් හැටියට මේ කලාපයෙ යුද්ධයකදි කටයුතු කරන ආකාරය ගැනයි ඒ යුද අභ්‍යාසයෙන් පෙන්නුම් කළේ. කලාපයේ යුද්ධයකදි ලංකාව අවට යුද්ධයක් සදහා පුහුණුවක් තමයි ඒ කළේ.

ඉන්පස්සෙ මේ බෝම්බ ප‍්‍රහාර සිදුවෙන්න දින 2කට කලින් අපේ‍්‍රල් 19 වැනිදා හම්බන්තොට වරායට ආවා දැවැන්ත මිසයිල රඳවන නෞකාවක් ඇතුළු න්‍යෂ්ටික බලය සහිත යුද නෞකා 3ක් අමෙරිකන් භටයන් සමග පැමිණියා. ඔවුන් අපෙ5්ල් 27 වැනිදා වෙනතුරු යුද අභ්‍යාසයක් පවත්වන බවට එක්සත් ජනපදයෙ පැසිෆික් යුද මෙහෙයුම් මූලස්ථානය නිවේදනයක් කළා. මේ අයි.එස්.අයි.එස්. ප‍්‍රහාර කියන්නෙ ඒ ක‍්‍රියාවලියට ප‍්‍රතිචාර හැටියට තමයි සළකන්න වෙන්නෙ. ඒ නිසා ඒ එක්සත් ජනපදයට යුද අභ්‍යාස කරන්න මිලිටරි සේවා ගිවිසුම් අත්සන් කරන්න සහාය දුන්න, මැදිහත්වුණු අය වගකියන්න ඕන මේ ප‍්‍රහාරවලට. ඒ වගේම ඒ ප‍්‍රහාරවලින් ආරක්ෂා වෙන්න නැවතත් අධිරාජ්‍යවාදින් මේ රටට වැද්දගන්න කටයුතු කරනවා නම් රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රසිද්ධියේ පාපොච්චාරණය කරන්න ඕන එක්සත් ජනපද යුද සැපයුම්වලට ඉඩ දීම සම්බන්ධව. 2018 අගෝස්තු මාසෙ, 2018 දෙසැම්බර් මාසෙ සහ 2019 ජනවාරි මාසෙ මේ සැපයුම් ක‍්‍රියාදාමයට ලංකාවෙ භූමිය පාවිච්චි කළා. මාර්තු 19 වැනිදා ඕස්ටේ‍්‍රලියානු භටයන් ගෙන්වලා කළ යුද අභ්‍යාසය සහ ප‍්‍රහාරයට දවස් දෙකකට කලින් අමෙරිකානු යුද නැව් සහ භටයන් ගෙන්වා ගැනීම විසින් අයි.එස්.එයිඑස්. සහ චීනයට සංඥා කළේ ලංකාව අමෙරිකාව සමග ඉන්න බවයි. යුද සැපයුම් ගිවිසුම අත්සන් කිරීම ගැන කියද්දි අපි කිව්වෙ චීනය සමග ගැටුමක් ඇතිවන්නට ඉඩ තිබෙන බවයි. නමුත් දැන් නොසිතූ ආකාරයට අයි.එස්.එයිඑස්. එක ප‍්‍රහාරයක් එල්ල කළා. මේ පාලකයන්ගෙ මුග්ධ දේශපාලන තීරණ ගැන කවුද වගකියන්නෙ? ජනතාවගෙ ජීවිත අනතුරට පත්වීම ගැන වගකියන්න කවුරුත් නෑ. අගමැති රනිල් දැන් පාර්ලිමේන්තුවට කියයි, අමෙරිකානු හමුදාවට කළ පහසුකම් සැලසීමෙන් මෙච්චර ගානක් හම්බ වුණා කියලා. එයා කිව්වෙ මේ මිලිටරි සැපයුම් ගිවිසුම නිසා ලංකාවට ආදායමක් ලැබෙනවා කියලනෙ. අපි කියනවා, හෙට පාර්ලිමේන්තුවට ඇවිත් ඒ හම්බවුණ මුදල කියන්න. ඒ මුදල වගේද අහිංසක දරුවන් සහ වැඩිහිටියන් සිය ගණනක් මැරිලා, සිය ගණනක් තුවාල වෙන එක. විදේශිකයන්, දරුවන්, මිය යන එක මුදල් හම්බ වෙනවා වගේ සරලද? රත්නපුරේ රෝහලට ළමා වාට්ටුව හදලා දුන්න කාන්තාව මේ ප‍්‍රහාරයේ ගොදුරක් බවට පත් වුණා.

ඇමරිකාව දැන් කියන්නේ "ප්‍රහාරය ගැන දන්නෙත් නෑ" කියලා !

මේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපද තානාපතිනිය කියන්නෙ අපි මේ ප‍්‍රහාරය ගැන දැනගෙන හිටියෙ නෑ කියලා. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රහාරය ගැන දැනගත් වහාම කිව්වෙ මේ ගැහුවෙ ලංකාවට නෙවෙයි, අමෙරිකාවට කියලා. ඇයි එහෙම කියන්නෙ? අයි.එස්.එයි.එස්. එක එක්සත් ජනපදයට ගහන්න ලංකාවට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරකයන් පිරිසක් යොදවන්නෙ ඇයි? අමෙරිකාවට ගහනවා නම් තොරාගන්නවා කියලා අපිට හිතන්න වෙන්නෙ, වොෂින්ටන් හරි, ලොස් ඇන්ජලිස් හරි ප‍්‍රහාර එල්ල කිරීමක්නෙ. එවැනි නගරයකට ගහනවා වෙනුවට කොටහේනටයි, මීගමුවටයි, මඩකලපුවටයි, කොළඹටයි ප‍්‍රහාර එල්ල කළේ ඇයි? එවැනි ප‍්‍රහාරයක් ලංකාවට විඳගන්න වෙන ආකාරයේ දේශපාලන තීන්දු ගත්තෙ කවුද? ඒ ප‍්‍රහාරවලට ලංකාවෙ ජනතාව ගොදුරුබවට පත්කළ වගකීම භාරගන්නෙ කවුද? තොරතුරු කලින් ලැබිලත් එය වළක්වාගන්න නොහැකි වීම සම්බන්ධ වගකීම ආණ්ඩුව වගේම විපක්ෂයෙත් මේ ප‍්‍රභූවරු කියන සියලූ දෙනා භාරගන්න ඕන. දැන් වෙලා තියෙන හානියට පස්සෙ ආරක්ෂාවෙ නාමයෙන් මර්දන නීති සම්මත කිරීමට නියමිතයි. ආරක්ෂාවෙ නාමයෙන් විදේශ හමුදා, ඔත්තු සේවා වැද්දගන්න නියමිතයි. අපි කියනවා මේ විනාශය වුණාට පස්සෙවත් එවැනි මුග්ධ දේශපාලන තීරණ ගන්න එපා. පාර්ලිමේන්තුවෙදි අගමැති රනිල් වික‍්‍රමසිංහ ඒ ගැන කියද්දි ආණ්ඩුවෙවත් විපක්ෂයෙවත් එක්කෙනෙක්වත් වචනයක් කිව්වෙ නෑ, මේ අන්තවාදී ජාත්‍යන්තර කල්ලි කියන්නෙ විදේශ ඔත්තුසේවා යටතේ හැදිලා වැඩිලා ක‍්‍රියාත්මකවන බලවේග බව. එක්සත් ජනපද ඔත්තුසේවාව විසින් මේ අයි.එස්.එයිඑස්. සංවිධානය ඇතුළු අන්තාවිදන් නඩත්තුකරන බව කියන්න එක මන්ත‍්‍රිවරයෙක් හිටියෙ නෑ.

මේ ප්‍රහාරය අන්තිම මිලේච්ජ තිරිසන් ක්‍රියාවක් !

ඒ වගේම මේ ප‍්‍රහාරය අන්තිම ම්ලේච්ඡ තිරිසන් ක‍්‍රියාවක් ලෙස අපි මුලූමනින්ම හෙළා දකිනවා. නමුත් අපි දන්නවා මේ බෝම්බ ප‍්‍රහාරය ක‍්‍රියාව නෙවෙයි, ප‍්‍රතික‍්‍රුියාවක්. මේ දක්වා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදයට මේ භූමිය පාවිච්චි කිරීමට ඉඩ දුන් පාලක පන්තියේ සියලූ නායකයන් විසින් ගත් වැරදි දේශපාලන තීරණය නිසා අන්තවාදින් ලබාදුන් ප‍්‍රතික‍්‍රියාවක්. ඒ නිසා ඒ ක‍්‍රියාව සඳහා වගකිවයුතු පාලක පන්තියේ වත්මන් ආණ්ඩුවේ නියෝජිතයන් වගේම පසුගිය ආණ්ඩුවල නියෝජිතයන් නිලධාරින් වගකිවයුතුයි.

ඒ වගේම සිදුවූ දේ සම්බන්ධව පොලිස්පතිවරයා ඇතුළු වගකිවයුතු නිලධාරින් විසින් රටට පැහැදිලි කිරීමක් කළ යුතුයි. වහාම මේ සම්බන්ධ වගකිවයුත්තන් සෙවීමට පරික්ෂණයක් අවශ්‍යයි කියලා අපි කියනවා. ඔය පුංචි පුංචි කණ්ඩායම් හදලා කරන පරික්ෂණ නෙයෙි, ජනාධිපති එක පරික්ෂන කණ්ඩායමක් හදනවා, අගමැති තව එකක් හදනවා, ඒක නෙවෙයි, සම්පූර්ණ ක‍්‍රියාදාමය සම්බන්ධ පුලූල් වගකිවයුතු පරික්ෂණයක් අපි ඉල්ලා සිටිනවා. මේ ප‍්‍රහාරය සම්බන්ධ තොරතුරු දැනගෙන ඉදිද්දිත් මේක වළක්වන්න නොහැකිවීම මේ මිනිස් ජීවිත අනතුරේ දැමීමට අදාළ වරද කොහොමද සිදුවුණේ කියන කාරණය ජනතාවට පැහැදිලි කරන්න අවශ්‍ය පූර්ණ පරික්ෂණයක් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ප‍්‍රහාරයට පාර කපපු දේශපාලන තීරණ සම්බන්ධ අගැයීමක් තක්සේරුවක් ආණ්ඩුවෙන් අපට අවශ්‍යයි. දැන් ගෝඨාභය රාජපක්ෂ, 2007 මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකඅමාත්‍යංශයේ ලේකම්වරයා හැටියට ඉදිද්දි රොබට් ඕ බ්ලේක් සමග අත්සන් කළ ACSA ගිවිසුම මේ ප‍්‍රහාරයට පාර කැපුවද නැද්ද කියලා පැහැදිලි කරන්න ඕන. වීරයා වෙන්න, බොරු අධිරාජ්‍ය විරෝධී කතා කියලා වැඩක් නෑ.

ඉවසීමෙන් සහ අවබෝධයෙන් කටයුතු කරමු !

ඒ වගේම මෙවැනි අන්තවාදී ප‍්‍රහාරයක් සිදුවුණාම අපේ රටේ ඉතිහාසය තුළ අප කළ වරද්දාගැනීම් සිදු නොකර ඉවසීමෙන් හා අවබෝධයෙන් මේ දක්වා අපේ රටේ ජනතාව කටයුතු කළ බව සිහිපත් කරන්න ඕන. මොකද, 1983 කලූ ජූලිය වගේ දකුණේ ක‍්‍රියාත්මක වූ අන්තවාදී ප‍්‍රහාර නිසා ඒ වනවිට ජනතා සහාය අවම තත්වයක පැවති එල්ටීටීඊ වැනි අන්තවාදි කණ්ඩායම්වලට දෙමළ ජනතාව අතර පිළිගැනීමක් සහයෝගයක් ඇති වුණා. මේ වනවිට මුස්ලිම් ජනතාව අප සමග ගමේ ජීවත් වූ නගරයේ ව්‍යාපාර කටයුතු කරගෙන ජීවත්වූ මුස්ලිම් ජනයා මෙම ම්ලේච්ඡු ප‍්‍රහාරය හෙළා දකිමින් කම්පාවට පත්ව, ඒ වගේම තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැකයෙන් ජීවත් වෙනවා. ඔවුන් වෙත මේ ප‍්‍රහාරයේ වරද පටවන්නෙ නැතිව, ඔවුන් අන්තවාදයට පාවාදෙන්නෙ නැතිව අනෙකුත් ජනතාව සමග ඒකාබද්ධව මේ අන්තවාදය පරාජය කිරීමට ලංකාවෙ සාමාන්‍ය මුස්ලිම් සහභාගි කරගන්න අවශ්‍ය වෙනවා. පහර දෙන්නම අවශ්‍ය කෙනෙකුට නම් අපි කියන්නෙ එහි වරදකරුවන් පාර්ලිමේන්තුවෙ ඉන්නවා. ඒ නිසා මේ බිහිසුණු ප‍්‍රහාරයෙන් පීඩාවට පත් වූ සියලූ දෙනා වෙනුවෙන් එවැනි විපත් මේ රටේ ජනතාවට නැවත ඇති නොවන විසඳුමක් වෙනුවෙන් අපි ලංකාවේ ජනතාවට දෙන පණිවිඩය තමයි මනුෂ්‍යත්වයට පණ පොවමු, ජන ඝාතන වළකමු, අන්තවාදයට ඉඩ නොදෙමු!”