IS මදිවට සුළි කුණාටුවකුත් ලංකාව දෙසට !

IS මදිවට සුළි කුණාටුවකුත් ලංකාව දෙසට !

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ ශ්‍රි ලංකාවේ ගිණිකොන දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බවත් මේ හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්වය පිළිබදව ඉදිරි දින කීපය තුළ අවධානයෙන් සිටින ලෙස රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර අද දින (26) අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමින් පැවසීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තා අනුව විශේෂයෙන්ම ශ්‍රි ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයට මායිමිව කිලෝමීටර් 1000 කට පමණ ඈතින් මුහුදේ කුණාටු තත්වයක් ඇති වී තිබෙන බවත් මේ හේතුවෙන් අප්‍රේල් මස 28 දින සිට මැයි මස 01 වන දින දක්වා අයහපත් කාලගුණික තත්වයක් ඇති විය හැකි බව ඔහු දුරටත් දැනුම් දෙන ලදී.

මෙම පීඩන අවපාතය ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ගමන් කරනු ඇති බවත් මෙි නිසා ශ්‍රී ලංකාවට ගිනිකොණ දිග, නැගෙනහිර සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වෙිගය පැයට කිලොමීටර් 70 ක් 80 ක් දක්වා වැඩිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ රළුවිය හැකිය බවත් පෙන්වා දෙන ලදී.

එසේම දකුණු, සබරගමුව, වයඹ, උතුරුමැද, නැගෙනහිර සහ උතුරු පළාත්වල මිලි මීටර් 100 කට වඩා අධික වැසි බලාපොරොත්තු විය හැකි බවත් එම පළාත්වල ගංවතුර අවදානමක් ඇතිවිය හැකි යැයි ද පැවසීය. අධික වැසි නිසා නායයාමේ අවධානමක් ඇති ප්‍රදේශවල නාය යාම් ඇතිවිය හැකි බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පෙන්වා දී ඇති බවත් මෙම මධ්‍ය හමුවේ දී ප්‍රකාශ කරන ලදී.

ඒසේම මෙම පීඩන අවපාතය නිසා නැගෙනහිර, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ උතුරු පළාත්වල ගොඩබිම් ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බැවින් සෑම ආයතනයකටම අවදානම අවම කරගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බව ද පැවසීය.

එසේම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් සියලුම ආයතන, වාරි මාර්ග දෙපාර්තුමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව, විදුලි බල මණ්බලය හා පොලිසිය ද ත්‍රිවිධ හමුදාව, ධීවර අමාත්‍යාංශය ඇතුලු සියලු පාර්ශවකාර ආයතන මේ පිළිබදව දැනුවත් කරමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදීමට කටයුතු කළ බවද ඔහු පැවසීය.

හම්බන්තොට සිට යාපනය දක්වා මුහුදු තීරයේ පැයට කිලෝමීටර් 70 -80කට වැඩි වැඩි වේගයෙන් සුළං තත්වයක් ඇති විය හැකි බැවින් ධීවර ජනතාවට මුහුදු යාමෙන් වළකින ලෙස අමාත්‍යතුමා ඉල්ලා සිටින ලදී. නිවාස වල වහල හානි, ගස් කඩාවැටීම, ගස් අතු කඩාවැටීම, යටිතල සහසුකම් හානියට පත්වීම, නායයාම් නිසා සිදුවිය හැකි හානි, ගංවතුර නිසා සිදුවිය හැකි හානි සිදුවිය හැකි බැවින් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ඔහු කටකතා වලට නොරැවටී ඕනෑම හදිසි තත්වයකදී 117 යන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංකය අමතන ලෙස ද දන්වා සිටින ලදී.

රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාරණ අමාත්‍යාංශ ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ධීවර කටයුතු දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන නියෝජිතයින් මේ අවස්ථාවට සහභාගීවිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න